ත‍්‍රස්තවාදය අවසන් කිරීමට නම් . . . .

ත‍්‍රස්තවාදය අවසන් කිරීමට නම්
ටී. ආර්. ඕ. සංවිධානයද තහනම් කළයුතුයිථ

- ඇමැති රෝහිත බොගොල්ලාගම

ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. යේ ඉදිරි පෙළ සංවිධාන වශයෙන් සැළකෙන ටී.ආර්.ඕ. වැනි සංවිධාන යුරෝපා සංගමය තුළ තහනම් කරන ලෙස එම සංගමයෙන් විශේෂ ඉල්ලීමක් කළ බව විදේශ කටයුතු ඇමති රෝහිත බෝගොල්ලාගම මහතා පැවැසීය.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කෙළේ බෙල්ජියමේ යුරෝපා සංගම් මූලස්ථානයේ පැවැති විශේෂ හමුවකට සහභාගි වීමෙන් අනතුරුව පසුගියදා (1) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

ශී‍්‍ර ලංකාවට එරෙහිව නැඟෙන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් යුරෝපා කොමිසමට කරුණු පැහැදිලි කිරීම සඳහා යුරෝපා කොමිසමේ නියෝජිතයන් හමුවීම මේ සංචාරයේ ප‍්‍රධාන අරමුණ විය.

එහිදී රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා යුරෝපා සංගමයේ බාහිර සම්බන්ධතා සහ යුරෝපා අසල්වැසි ප‍්‍රතිපත්ති පිළිබඳ කොමසාරිස් බෙනීටා ෆෙරේරෝ වෝල්ඩිනර් මහත්මිය යුරෝපා සංගමයේ වෙළෙඳ කටයුතු භාර කොමසාරිස් කැතරින් ඇෂ්ටන් මහත්මිය හා බෙල්ජියමේ අග‍්‍රාමාත්‍ය හර්මන් වාන් රොමිපුයි මහතාද හමු වී ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්විය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට මෙතරම් සුවිශේෂ බලයක් ලබා ගැනීමට හැකිවී ඇත්තේ එම සංවිධානයේ ඉදිරිපෙළ සංවිධාන මූල්‍යමය වශයෙන් ලබාදෙන සහයෝගය නිසා බැවින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපා සංගමය තුළ තහනම් කළාක් මෙන් ඔවුන්ගේ ඉදිරිපෙළ සංවිධානයද තහනම් කිරීමට කටයුතු කළයුතු බව ඇමැතිවරයා කීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරගෙන යන බවත් ඉදිරියේදී ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ජීඑස්පී+සහන පිළිබඳව බෝගොල්ලාගම මහතා කියා සිටියේ ජීඑස්පී සහන මේ වන විට ශී‍්‍ර ලංකාවට ලැබෙන බවත් එහෙත් අපේ ස්ථාවරය හා ශී‍්‍ර ලංකාවේ තිබෙන ශක්තිය තුළින් මෙන්ම අපි දරන දේශපාලන න්‍යාය පත‍්‍රයට අනුව එම සහන ලබා ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කළබවයි.

එමෙන්ම මේ සම්බන්ධතාව ගෙනයාමේදී ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව දේශපාලන වෙළෙඳ යන කරුණු කාරණා සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය තුළ ජීඑස්පී+සහන ලබා ගැනීමේ කි‍්‍රයාදාමයේ නිරතවන බව තමා එහිදී පැහැදිලි කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන් එම සහන තවදුරටත් රඳවා ගැනීමට ශී‍්‍ර ලංකාවේ තිබෙන ශක්තිය ස්ථාවරය රටක් විදිහට සිදුකරන කාර්ය භාරයන් ප‍්‍රමාණවත් බවද ඔහු පෙන්වා දුන්නේය.

යුරෝපා සංගමය සමග ශී‍්‍ර ලංකාවේ පවතින පාලන ශක්තිය පිළිබඳව හා ද්විපාර්ශ්විය සම්බන්ධතා ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට පැවති සාකච්ඡා වටවලදී අවස්ථාවන් උදා වූ බව කී අමාත්‍යවරයා විශේෂයෙන් ත‍්‍රස්තවාදය පරාජය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා යන ගමනේදී ශී‍්‍ර ලංකා රජය ගන්නා ස්ථාවරයන් ජාතික න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙනුත් යුරෝපා සංගමය තුළ කරුණු පැහැදිලි කිරීමට හැකි වූ බවද වැඩිදුරටත් පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා