පාරට කුණු කසළ දමන අයට විරුද්ධව නඩු පැවැරීමට පියවර

මසක් ඇතුළත ඩෙංගු රෝගීන් 108ක්

පාරට කුණු කසළ දමන අයට විරුද්ධව නඩු පැවැරීමට පියවර

කොළඹ නගරසභා බලප‍්‍රදේශයේ අබිලි ද්‍රව්‍ය හා කුණුකසල පාරට දමන පුද්ගලයන්ට විරුද්ධව නඩුපැවැරීමට නගර සභා ජනසෞඛ්‍ය ඒකකය තීරණය කරයි.

මාසයක් ඇතුළත ඩෙංගු රෝගීන් එකසිය අට (108) දෙනෙක් වාර්තාවීමත් සමගම මේ තීරණය ගැනීමට සිදු වී ඇතැයි, කොළඹ නගර සභා ජනසෞඛ්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි ප‍්‍රදීප් කාරියවසම් මහතා කීය. පවතින තත්ත්වය අනුව, මහජන සහයෝගය නොළැබුණහොත්, ඉදිරියේදී කොළඹ ප‍්‍රදේශයේ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පත්විය හැකි බවද සෞඛ්‍ය නිලධාරිහු අනතුරු හැඟවීමක් කරති.

මෙහි ඇති ප‍්‍රධානම ප‍්‍රශ්නය වනුයේ රෝගයට ලක්වන්නන්ගෙන් සියයට අනූපහක්ම (95% ) දරුවන් වීමය.

මේ වන විට කොළඹින් ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන් අටදෙනෙකු (8) මිය ගොස් ඇතැයි වෛද්‍ය කාරියවසම් මහතා කීය.

ඩෙංගු වැළදීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇති අබිලි ද්‍රව්‍ය හා කුණුකසල එකතු වීම වන නිසා මේ ද්‍රව්‍ය පාරට දමන්නන් හට නීතිය කි‍්‍රයාත්මක කෙරෙන බව පවසන ඒ මහතා, එයට අමතරව එම කුණු කසල ඉවත් කිරීමට භාරගෙන ඇති පුද්ගලික කොන්ත‍්‍රාත්කරුවන්ට විරුද්ධව කටයුතු කිරීමට පියවර ගන්නා බව කීවේය.

පවතින තත්ත්වය මත පසුගිය වසරේ මුල් මාසයේ හමු වූ ඩෙංගු රෝගීන් තිස් අට දෙනා හා බලන විට, මේ වසරේ මුල් මාසයේදීම විශාල රෝගීන් පිරිසක් එකතු වීම භයානක මුලපිරිමක් වන හෙයින්, ජනතාව තමන්ගේ වටපිටාව සුද්ධ පවිත‍්‍ර කිරීම අනිවාර්ය බවද වෛද්‍ය නිලධාරිවරයා කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා