සිරකර සිටින ජනතාව මුදාහරින්නැයි . . .

සිරකර සිටින ජනතාව මුදාහරින්නැයි
මන්නාරමේ වැසියෝ වීථි බසිති

වන්නියේ සිරකරගෙන සිටින ජනතාව වහා නිදහස් කර හමුදාවට යටත්වී රටේ සිංහල, දෙමළ සමගිය රැකීමට කටයුතු කරන්නැයි ඉල්ලා කොටි නායක ප‍්‍රභාකරන්ට එරෙහිව මන්නාරමේ සිවිල් ජනතාව ඊයේ (03) මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.

මන්නාරම නගරයේ පැවැති මේ උද්ඝෝෂණයේදී කොටි නායක ප‍්‍රභාකරන්ගේ පඹයෙක්ද ජනතාව විසින් පුළුස්සා දමන ලදි. මේ විරෝධතා ව්‍යාපාරයට දෙදහකට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් සහභාගි වූ අතර ඔවුහු මන්නාරම නගරය වටා පෙළපාළි යමින් උද්ඝෝෂණයේ නිරතවූහ.

නගරයේ තී‍්‍රරෝද රථ, පෞද්ගලික බස් රථ, යතුරුපැදි ආදියෙන් යුත් මහා වාහන පෙළපාළියක්ද මේ විරෝධතා ව්‍යාපාරයට එක්වී තිබිණි.

උද්ඝෝෂණය අවසානයේ මන්නාරම දිසාපතිවරයාට උද්ඝෝෂකයන් විසින් සංදේශයක්ද බාරදෙන ලදි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා