61 වැනි නිදහස් දිනය අභිමානවත්ව සමරති

61 වැනි නිදහස් දිනය අභිමානවත්ව සමරති

ශී‍්‍ර ලංකාවේ 61 වැනි ජාතික නිදහස් දිනය අදට (4) යෙදී ඇත.

ශී‍්‍ර ලංකා මාතාව සිය 61 වැනි ජාතික නිදහස් දිනය මහත් අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

අප මෙවර නිදහස සමරන්නේ එල්.ටී.ටී.ඊ ග‍්‍රහණයේ පැවැති උතුරු - නැගෙනහිර ප‍්‍රදේශ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇති අවස්ථාවක ය.

වඩාත් නිදහස්ව සහ නිවහල්ව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැමරීමට හැකි නිදහස් උළෙලක් ලෙස මෙවර නිදහස් උළෙල ඉතිහාසගත වනු ඇත.

ජාතික නිදහස් දින ප‍්‍රධාන සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත් වේ.

පන්දහසකට අධික ති‍්‍රවිධ හමුදා සෙබළුන් ඉදිරිපත් කරන අලංකාර ආචාර පෙළපාළියක් සහ සංදර්ශනයක් ද මීට ඇතුළත් ය.

අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු ද පොලිස්පති තුමා සහ ති‍්‍රවිධ හමුදාපතිවරු ද විදේශ තානාපතිවරු ද, මහා සංඝ රත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්ද ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සහභාගි වෙති.

නිදහස් දින බෞද්ධ ආගමික වතාවත් කොළඹ 10, ශී‍්‍ර ලංකා මහා පිරිවෙණේ දී ද, හින්දු ආගමික වතාවත් කොළඹ ගාලු පාරේ නව කදිරේෂන් කෝවිලේ දී ද ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 12, පිර්සාහිබ් මකාම් මුස්ලිම් දේවස්ථානයේ දී ද කතෝලික දේව මෙහෙය කොළඹ 13 කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී ද කි‍්‍රස්තියානි දේව මෙහෙය කොළඹ 07, කුරුඳුවත්ත බැප්ටිස්ට් දේවස්ථානයේ දී ද පැවැත්වේ. ජාතික නිදහස් සටනේ පුරෝගාමී නායකයකු වන මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුව අභියස පුෂ්පෝපහාර දැක්වීමට ද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සංවිධාන කළ සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මෙධාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී ඊයේ (03) රාති‍්‍රයේ දී පැවැත්විණි.

ජාතික නිදහස් සමරුව වෙනුවෙන් මුදල් අමාත්‍යංශය සංවිධාන කරන “දැයට කිරුළ” ප‍්‍රදර්ශනය ද අද (04) විවෘත කෙරේ. මෙම ප‍්‍රදර්ශනය 9 වැනිදා තෙක් පැවැත් වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා