රජයේ ආරක්ෂාව පතා එන ජනතාවට . . .

රජයේ ආරක්ෂාව පතා එන ජනතාවට
වවුනියාවෙන් නිවාස 24000 ලබා දෙනවා

- ඇමැති රිෂාඩ් බදියුදීන්

එල්.ටී.ටී.ඊ. ග‍්‍රහනයෙන් මිදී රජයේ ආරක්ෂාව පතා පැමිණෙන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වවුනියා දිස්ති‍්‍රක්කයේ අක්කර 900 ක නිවාස 24000 ක් ඉදිකිරීමේ කටයුතු රජය මගින් ආරම්භ කැර ඇතැයි නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (03) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.


මුලතිව් හා කිලිනොච්චි අවතැන් ජනතාවට සහන සැලසීමේ මාධ්‍ය සාකච්ඡාවක් නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති රිෂාඩ් බද්දියුදීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එම අවස්ථාවේදී ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍යයට කරුණු අනාවරණය කරන අතර රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතාද එක්ව සිටින අයුරුයි. ඡායාරූප - තුෂාර ප‍්‍රනාන්දු

රාමනාදන් සුන්දරපුරම්, කදිරගාමර් එලිච්චිනගර් සහ අරුනාවලම් වුඩිතලෙයිපුරම් ලෙස නම්කර ඇති මේ ආදර්ශ ගම්මානවල එක් ගම්මානයක නිවාස 8000 ක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇතැයිද ඇමැතිවරයා කීය.

මේ ආදර්ශ ගම්මාන ආශ‍්‍රිතව මාර්ග, වෛද්‍ය මධ්‍යස්ථාන තැපැල් කාර්යාල, දුරකථන පහසුකම්, ප‍්‍රජා ශාලා පානීය ජලය, කී‍්‍රඩාපිටි, ළමා උද්‍යාන, විදුලිය, බැංකු පහසුකම්, සංස්කෘතික මධ්‍යස්ථාන, තරුණ මධ්‍යස්ථාන, පුස්තකාල, විවේකාගාර ආදී පහසුකම් ලබාදීමටද රජය කටයුතු යොදා ඇති බව කී ඇමැතිවරයා මේ පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ යටතේ පානීය ජලය ලබාදීම සඳහා බවුසර් යොදා ගැනෙන බවද පවුල් 15 – 20 ත් අතර ප‍්‍රමාණයකට අවශ්‍ය වන පරිදි ජල ටැංකි යොදාගෙන බීමට සහ අනෙකුත් කටයුතු සඳහා ජලය සැපයීම් සිදුකෙරෙන බවද කීය.

මේ වනවිට පවුල් 1180 ක පුද්ගලයන් 2913 ක් වවුනියාවට පැමිණ ඇති බවත් ඔවුන්ගෙන් නෙලුක්කුලම සුබසාධක මධ්‍යස්ථානයේ පවුල් 940 ක පුද්ගලයන්2131 ද මැණික්ෆාම් සුබසාධන මධ්‍යස්ථානයේ පවුල් 240 ක පුද්ගලයන් 782 ක්ද පදිංචිව ඇත.

රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණ ඇති ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් රජය මගින් සැපයීම අඛණ්ඩව සිදුකෙරේ.

නැවත පදිංචි කිරීමේ ඇමැති අමීර් අලි මහතා,

අවතැන් වූවන් පිළිබඳව අපිට පිළිගත හැක්කේ දිසාපතිවරුන් දෙන සංඛ්‍යා ලේඛනයි.

එහෙත් නැඟෙනහිර මුදාගැනීමේ සටනේදී වාකරේ අවතැන් වූවන් 115000 ක් බව දිසාපතිවරු අපට පැවැසුවද මුදාගත් පසු අවතැන් වූවන් සිටියේ 18000 යි. මේ නිසා රජයට අවතැන් වූවන් වෙනුවෙන් තවත් පිරිසක් සඳහාද ආහාර ඇතුළු අවශ්‍යතා සැපැයීමට සිදුවුණා. ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,

රජය යුද මුක්ත කලාපය වර්ග කිලෝමීටර 25 ඉන්දීය විදේශ ඇමැතිගේ ඉල්ලීමක් නොමැතිව වර්ග කිලෝමීටර් 35 දක්වා වැඩිකර තිබෙනවා.

රජය නිවේදනය කළ පැය 48 ක සටන් විරාම කාලය තුළදී සිවිල් වැසියන් ඊයේ දවස තුළ පමණක් එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් මිදී 240 දෙනෙකු රජයේ ආරක්ෂාව පතා පැමිණ සිටිනවා.

එය හොඳ ප‍්‍රවනතාවක්. සෙසු ජනතාවටත්, එසේ පැමිණීමේ හැකියාව තියෙනවා.

නොඑසේනම් ඔවුන් එල්.ටී.ටී.ඊ.යට උදවු දෙන අය ලෙස අපට සිතන්නට වෙනවා.

යාපනේ ජනතාව ලක්ෂ ගණන් ජනතාව එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව වීථි බැස සිවිල් ජනතාව නිදහස් කරන ලෙස විරෝධතා දක්වනවා.

එසේම කල්මුණේ ජනතාවත් වීථී බැස්සා. ජාත්‍යන්තරයත්, රාජ්‍ය නොවන සංවිධානත් උතුරේ එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයේ සිටින ජනතාවට ආහාර සැපයීම තුවාලකරුවන් ගෙන ඒම ප‍්‍රමාණවත් නැතැයිද ඔවුන්ව මුදා ගැනීම සඳහා කටයුතු කළ යුතුව ඇතැයිද ඇමැති මහින්ද යාපා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ නිසා රාජ්‍ය නොවන සංවිධාන සිවිල් ජනතාව බේරා ගැනීමට නිවේදන නිකුත් කරනවාට වඩා උතුරු නැඟෙනහිර සංවර්ධනය සඳහා සිවිල් ජනතාව බේරා ගැනීමට හඬක් නැගිය යුතු බවද අවධාරණය කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා