ජානිපෙ සභාපති විමල් වීරවංශ මාරාන්තික උපවාසයක් අරඹයි

බෑන්කී මූන්ගේ කමිටුව අස්කර ගන්නැයි ඉල්ලා

ජානිපෙ සභාපති විමල් වීරවංශ මාරාන්තික උපවාසයක් අරඹයි

‘ජීවිතය මරණයෙන් කෙළවර වුවත් උපවාසය අත නොහරිමි’ කියමින් ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ මහතා තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී මරාන්තික උපවාසයක් ඊයේ (08) ආරම්භ කෙළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ සොයා බැලීමට පත් කළ උපදේශක කමිටුව අහෝසි කර ගන්නා ලෙස ඉල්ලමින් ඒ මහතා මේ උපවාසයේ නිරත වෙයි. කුත් (6) වැනිදා හේන්රි පේදිරිස් ක්‍රීඩාංගණය අබියසින්විරෝධතා පා ගමනකින් පැමිණි ජාතික නිදහස පෙරමුණේ නායකයෝ ඇතුළු පාක්ෂිකයන් එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලය වටලා අඛණ්ඩ උපවාසය ආරම්භ කෙළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසාමිල්, නිමල් ප්‍රේමවංශ හා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සේනාරත්න ද සිල්වා මහත්වරුන් අඛණ්ඩ උපවාසයට එක් වූහ. සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද අඛණ්ඩ උපවාස අවසන් කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මරාන්තික උපවාසය ආරම්භ කෙළේ ය.

ත්‍රස්තවාදයෙන් රට මුදාගත් සේනාධිනායකයා ප්‍රමුඛ රණවිරුවන් යුද අධිකරණය වෙත ගෙනයාම වැළැක්වීමටයි මා මාරාන්තික උපවාසය ආරම්භ කළේ. යම් අයුරකින් මගේ ජීවිතය අවසන් වුණහොත් එතනින් නොනැවතී මෙම සටන ඉදිරියට ගෙන යන්න කියලා දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කවුරු කුමන බාධාවන් ගෙන ආවත් මරාන්තික උපවාසය අතරමඟ නවත්වන්නේ නෑ කියා මා සියලු දෙනා ඉදිරියේ පොරොන්දු වෙනවා. බෑන්කී මූන් මහතා ඉදිරියේ මාතෘ භූ®මිය පාවා දෙන්නට හෝ දණ ගස්සන්න ඉඩ නොදෙන බව ද වීරවංශ මහතා කීවේ ය. චීනය, රුසියාව වැනි රටවල් එක්ව මෙවැනි දේ නොකරන්නැයි මහලේකම්වරයාට බලකරන ලෙස හෙතම ඉල්ලා සිටියේ ය.

මෙම අවස්ථාවට ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු සංඝයාවහන්සේලා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකාවේ කටයුතු විමර්ශනයට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මුන් මහතා පත්කළ උපදේශක කමිටුව වහා අහෝසි කරගන්නා ලෙස ඉල්ලමින් එ. ජා. කොළඹ කාර්යාලය ඉදිරිපිට දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාරාන්තික උපවාසය ඊයේ (8) ආරම්භ කළ අයුරු. ඇල්ලේ ගුණවංශ හිමියෝද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා