ත්‍රස්තවාදය පරදා ලද විජයග්‍රහණය විදෙස් බලපෑම් මත පාවා දෙන්න බෑ

ත්‍රස්තවාදය පරදා ලද විජයග්‍රහණය විදෙස් බලපෑම් මත පාවා දෙන්න බෑ

- ජනපති

මවුබිම ත්‍රස්තවාදයෙන් මුදාගනිමින් ජාතිය ලැබූ විජයග්‍රහණය, විදේශීය බලපෑම් එල්ල වූ පමණින් අතහරින්නට සූදානම් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මවුබිමේ නිදහස වෙනුවෙන් කැපවූ විරුවන්ට එල්ල වන සියලු චෝදනාවලට තමා මුහුණ දෙන බවද ජනාධිපතිවරයා පවසයි. අපේ රණවිරුවන් කිසිවිටෙකත් මානව අයිතීන් කඩ කළේ නැහැ.

සිවිල් වැසියන්ට තුවක්කු එල්ල කෙළේ නැහැ. ඔවුන්ගේ අරමුණ වුණේ සිවිල් වැසියන් රැකගැනීම යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ආචාර්ය බඳගිරියේ සෝමවංශ හිමියන් සහ ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතා විසින් රචිත “වැඩෙන මනසට අහරක්” ග්‍රන්ථය එළිදැක්වීම සහ “සුචරිතං සෙය්‍යෝ” සංවිධානය ඇරඹීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (08) පැවැති උත්සවයකදීය.

දැන් මුළු රටේම ජනතාව සැබෑ නිදහසක් භුක්ති විඳින බව පැවැසූ ජනාධිපතිවරයා, ඒ නිදහස පාවාදීමට පුළුවන්කමක් නැතැයිද කීවේය. නිදහස් කර ගත් රට ඉදිරියට ගෙනයාමට නම් ගුණගරුක යහපත් දරු පරපුරක් අපට අවශ්‍ය බවත්, අපගේ ශ්‍රේෂ්ඨ ජාතියට ගැළපෙන අයුරින් අපේ දරු පරපුරත් ගොඩනැඟිය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එන්සෙෆ් බෞද්ධ විදුහල්පති, ජාතික ළමා අධ්‍යාපන පදනමේ සභාපති ආචාර්ය බඳගිරියේ සෝමවංශ හිමියන් සහ ආචාර්ය උපාලි වික්‍රමසේකර, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා