මංගල, අධිකරණයට අපහාස කළැයි අලුත්කඩේ උසාවි භූමියේ විරෝධතාවක්

මංගල, අධිකරණයට අපහාස කළැයි අලුත්කඩේ උසාවි භූමියේ විරෝධතාවක්

අයවැය විවාදයේදී අධිකරණයට අපහාස වන පරිදි විපක්ෂයේ එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් කොළඹ අළුත්කඩේ ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලය ඉදිරිපිට දී ඊයේ (08) දහවල පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයට විරෝධය පා ඊයේ (8 ) දා අලුත්කඩේ උසාවිය ඉදිරිපිටදී නීතිඥවරුන්ගේ ඒකාබද්ධ එකමුතුව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඇතුළු නීතිඥවරුන් මෙම අවස්ථාවට සහභාගි වූ අයුරු.

ඡායාරූප - ප්‍රබෝධි ලංකා

නීතිඥ සංගම් ඒකාබද්ධ එකමුතුවක් සංවිධානය කැර තිබූ මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහතා හා නීතිඥවරු විශාල පිරිසක් සහභාගි වූහ.

අධිකරණ ඇමති අතාවුද සෙනවිරත්න මහතාද උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පැමිණියේය. “ මංගල සමරවීරගේ ප්‍රකාශය හෙළා දකිමු “. “ මංගල ජාත්‍යන්තර ප්‍රජාවට උඩගෙඩි දෙයි “ මැයෙන් සඳහන් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් නීතිඥවරු උද්ඝෝෂණයේ නියැලිනි. ව්‍යවස්ථාදායක හා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයට අපහාස කිරීම, අධිකරණය විවේචනය කිරීම සාමාන්‍ය මහජනතාව හැටියට පිළිකුළෙන් යුතුව හෙලා දකින බව විරෝධතා කරුවෝ පැවසූහ.

අධිකරණය විවේචනය කිරීම පොදු මහජනතාව අධිකරණයට දක්වන ගෞරවය කෙලසීමක් බවත්, ජනතාව අධිකරණයෙන් ඉවත් කරන ක්‍රියාදාමයක් බවත් ඔවුහු ‘ දිනමිණ’ට පැවසූහ. අධිකරණ අමාත්‍යාංශ අයවැය ශිර්ෂ විවාදය නොවුනු අවස්ථාවක මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය අයවැය - විවාදයට අදාළ නොවන රටේ සංවර්ධන වැඩ පිළිවෙළකට අදාළ නොවන අනුචිත කතාවක් බව ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ ඩී. පී. මෙන්ඩිස් මහතා පැවැසීය.

එම ප්‍රකාශය ශ්‍රී ලංකා විරෝධී ජාත්‍යන්තර බලවේගවලට උඩගෙඩි දෙන හා බෑන් කී මූන් පත් කිරීමට යන උපදේශක මණ්ඩලයට උපකාරි වන නීතියේ ආදිපත්‍යයට පටහැනි පහත් ප්‍රකාශයක් බවද මෙන්ඩිස් මහතා පැවැසීය.

අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක්කරමින් විනිශ්චයකාරවරුන්ගේ නම් සඳහන් කරමින්, අධිකරණයට චෝදනා කිරීම හෙළා දකින බව විරෝධතාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ විධායක බලයට හා විධායකයට මඩ ගසමින් අධිකරණය අපහාසයට හෑල්ලුවට ලක්කරමින් සමරවීර මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කිරීම සඳහා වන මෙවන් උද්ඝෝෂණ රට පුරා පවත්වන බව සංවිධානයේ ලේකම් චම්පානි පද්මසේකර මහතා පැවසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා