ෆොන්සේකාගේ පෙත්සම විභාගයට ගැනීම කල් තබයි

ෆොන්සේකාගේ පෙත්සම විභාගයට ගැනීම කල් තබයි

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම සැප්තැම්බර් මස 27 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීරණය කෙළේය.

පෙත්සම්කරුවන් පෙත්සමට අදාළව ගොනු කළ ප්‍රතිවිරෝධතා තමන්ට මෙතෙක් නොලැබුණු බවට නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මෙලෙස පෙත්සම කල් තැබිණි.

එම ප්‍රති විරෝධතා ඉකුත් මැයි මස 25 වැනිදා වගඋත්තරකරුවන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවූ බව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.පෙත්සමට අලුතින් ගොනුකරන ඕනෑම ලිපියකට හෝ ඇමුණුමක් සම්බන්ධයෙන් ප්‍රතිඋත්තර ගොනු කිරීම සඳහා නීතිපතිවරයා මෙහිදී අවසර ඉල්ලා සිටියේය.

ඒ අනුව සියලු වගඋත්තරකරුවන්ට ඒ සඳහා අවසර දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී සඳහන් කෙළේය.අගවිනිසුරු අශෝක ද සිල්වා, නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්‍රී පවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. අනෝමා ෆොන්සේ්කා, නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙහි ලේකම් නීතිඥ ශාමිලා පෙරේරා සහ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

යුද හමුදාපතිවරයා, යුද හමුදාවේ කොළඹ ආරක්ෂාව පිළිබඳ ස්ථානාධිපති මේජර් ජෙනරාල් සුමිත් මානව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, යුද හමුදා පොලීසියේ ප්‍රධානී බ්‍රිගේඩියර් විජේසිරි සහ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

ෂිබ්ලි අසීස් සහ රොමේෂ් ද සිල්වා යන ජනාධිපති නීතිඥවරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. නීතිපති මොහාන් පීරිස් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම්, රජයේ නීිතිඥ නෙරිල් පුල්ලේ යන මහත්වරු සහ ජනාධිපති නීතිඥ එස්.එල්. ගුණසේකර සහ සංජීව ජයවර්ධන, මනෝජ් බණ්ඩාර යන නීතිඥවරු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා