පොලිස් වෙස් ගෙන සූදුපොළක් කොල්ල කෑ හමුදාවේ 3ක් දැලේ

පොලිස් වෙස් ගෙන සූදුපොළක් කොල්ල කෑ හමුදාවේ 3ක් දැලේ

පොලිස් වෙස්ගෙන පිටකෝට්ටේ එපිටමුල්ල දෙමලවත්ත ප්‍රදේශයේ අවමඟුල් නිවසක පැවැත් වූ සූදු පිටියක සිටි පිරිසට පහරදී මුදල් කොල්ලකා පලා යාමට තැත් කළ යුද හමුදා සෙබලුන් පිරිසෙන් තිදෙනෙකු ජීප් රථයත් සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර විශේෂ කාර්ය බලකා සෙබළෙක් හා රියදුරෙක් වන බව පොලීසිය කියයි. අනෙක් සැකකරුවන් පලාගොස් ඇත.

මෙම සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු දෙමලවත්තේ අවමඟුල් උත්සවයට සහභාගි වීමේදී මුදල් යහමින් ගැවසෙමින් තිබූ සූදුපොළ දැක ඒ බව තවත් කිහිප දෙනෙකුට පවසා ඒ ආසන්නයේ ස්ථානයකින් මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ජීප් රථ දෙකකින් පැමිණ පහරදී මෙම සූදුපොළ වටලා ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. මෙම කොල්ලයට ආ සියලුම අය යුද හමුදාවට සම්බන්ධ පිරිස් බවට තොරතුරු ලැබී ඇති බව පවසන පොලීසිය ඔවුන් කොළඹ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ යටතේ සේවය කරන පිරිසක් බව හෙළි වී ඇත.

පලාගිය පුද්ගලයන් හා ජීප් රථය අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා