අපහාස චෝදනා ගොනු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග

ලංකා ඉරිදා පුවත්පතට එරෙහිව

අපහාස චෝදනා ගොනු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග

නෙල්කා මැදගෙදර

“ජනාධිපතිගෙන් අධිකරණයට බලපෑම්” යන ශීර්ෂ පාඨය සහිත ලිපියක් පළ කළ “ලංකා ඉරිදා සංග්‍රහය” පුවත් පතට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඊයේ (08) නියෝග කෙළේය. එම චෝදනා කෙටුම්පත සති දෙකකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.

එසේම මේ පුවත පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව සතියක දී අගවිනිසුරුවරයා වෙත ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී. එම පුවත මඟින් අධිකරණයට අපහාස කළ බවට කළ කරුණු විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝග කෙළේය.

අගවිනිසුරු අශෝක ද සිල්වා, නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්‍රී පවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ කරුණු විමසීම සිදු කළහ. ඉකුත් ජුනි මස 27 වැනිදා “ලංකා ඉරිදා සංග්‍රහය” පුවත් පත ඉහත ශීර්ෂ පාඨය යටතේ ලිපියක් පළ කර ඇත. එමඟින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීම සඳහා ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටින ලෙස එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත සහ ලිපියෙහි නම සඳහන් ජගත් ගුණතිලක යන අයට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි උපදෙස් මත එහි රෙජිස්ටාර්වරිය නොතීසි යවා තිබිණි.

ඒ අනුව එහි කර්තෘවරයා අධිකරණය හමුවෙහි පෙනී සිටියේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් එම ලිපිය ආරූඪ නමකින් ලියා ඇති අතර එවැනි පුද්ගලයකු සත්‍ය වශයෙන්ම නොමැති බව කීය. එබැවින් අධිකරණයෙහි කැඳවීම අනුව එවැනි පුද්ගලයකුට අධිකරණයට ඉදිරිපත් විය නොහැකි බව හෙතෙම කීය.

එසේම මේ සිදුවීම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා කල් ලබා දෙන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය. ඒ අනුව එම කරුණු විමසීම මේ ජූලි මස 21 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය. අධිකරණය කළ දැනුම් දීමකට අනුව අධිකරණයට සහාය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙහි සභාපති ෂිබ්ලි අසීස් සහ හිටපු සභාපති ඩබ්ලිව්. දයාරත්න මහත්වරු අධිකරණයට පැමිණ සිටියහ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීම අනුව නීතිපති මොහාන් පීරිස් මහතා අධිකරණයට පැමිණ සිටියේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා