සීයා මරා පිච්චුවැයි මුනුබුරන් දෙදෙනෙක් වසරකට පසු දැලේ

සීයා මරා පිච්චුවැයි මුනුබුරන් දෙදෙනෙක් වසරකට පසු දැලේ

තම සීයාගේ ගෙල කපා ඝාතනය කර සිරුර පිළිස්සු බවට සැකපිට මුනුබුරන් දෙදෙනකු සිද්ධිය වී වසරකට පසු රත්නපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. මියගිය තැනැත්තාගේ දුරකථනය සොරා ගැනීම ගැන ඔහු පොලිසියට යන බව පැවසීම නිසා එදින රාත්‍රී මෙම ඝාතනය සිදුකර ඇතැයි රත්නපුර පොලිසිය වසරක් තිස්සේ කළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පසුගිය වසරේ මැයි මස 3 වැනිදා රාත්‍රී ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි. කිරිඇල්ල ගල්ලෙන්දොළ දිගාන කන්ද පදිංචි ඩී. ඇම්. චන්ද්‍රපාල (89) මහතා ඔහුට අයත් වෙළෙඳ සල තුළදී මරණයට පත්ව තිබුණි. මියගිය තැනැත්තාගේ සිරුර සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් තිබූ බව පොලිසිය කියයි. මොහුගේ වෙළඳසලේ කාමරයක ඇඳක සිරුර තිබුණි.

එම ඇඳ අසලම විදුලි හීටරයක් විදුලි ස්වීචයකට ඇතුළු කර එම ස්වීචය ක්‍රියාත්මක කර තිබූ බව විමර්ශනවලදී හෙළිවිය. රත්නපුර පොලිසියේ පොලිස් පරීක්ෂක යූ. එස්. මායාදුන්න මහතා ඇතුළු නිලධාරීන් සිදුකළ මූලික විමර්ශන වලදී මෙම අබිරහස් මරණය ගැන පොලිසියට සැක මතුවිය. විදුලි කාන්දුවක් නිසා පිළිස්සීමෙන් මෙම මරණය සිදුවූ බව පෙන්වීමට සැකකරුවන් උත්සහ කර තිබූ බව පොලිසිය කියයි.

ලේ බින්දු තැවරුනු පුටුවක් සහ ලේ ගෑවුණු මේස පිහියක්ද වෙළඳසලේ තිබියදී රත්නපුර පොලිසිය මගින් සොයා ගෙන තිබිණි. 89 හැවිරිදි මෙම පුද්ගලයා ඝාතනය කිරීමට කිසිදු හේතුවක් නොමැතිවීම පොලිස් පරීක්ෂණවලදී පැහැදිලි විය. රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ර්‍ථනරත්න මහතා වසරක් පුරා මෙම මිනීමැරුමේ සුලමුල සොයමින් ලුහුබඳිමින් උපක්‍රමශීලීව කටයුතු කිරීම නිසා සැකකරු අයියා - මලෝ දෙදෙනා නීතියේ රැහනට කොටු කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරුවන්ගේ ළඟම ඥාතීන් අතර ඇතිවූ ගැටුමකදී හෙළිවූ තොරතුරු මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවිය. සැකකාර අයියා මලෝ දෙදෙනා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 

වෙළෙඳසල ගිනිගෙන තිබූ අයුරු.
ඡායාරූපය - රත්නපුර දිසා විශේෂ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා