බිලිඳු දැරියක විකිණීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා රිමාන්ඩ්

බිලිඳු දැරියක විකිණීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා රිමාන්ඩ්

දින පහක් වයසැති බිලිඳු දැරියක රුපියල් හැත්තෑපන් දහසක මුදලකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු වෛද්‍යවරයකු ලබන 22වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (8) නියෝග කළාය.

බිලිඳු දරුවන් මුදලට විකිණීමේ ගබ්සා සිදුකිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක් විසින් නඩු පවරා ඇති බව කියන මෙම සැකකාර වෛද්‍යවරයා ජාඇළ ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් වැටලීමේදී ජාඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

දින පහක් වයසැති බිලිඳු දැරිය මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාඇළ රෝඩ් නිවාසපුර වත්තේ පදිංචි වලිමුනි ආරච්චිලාගේ ශාන්ත ලොකුබණ්ඩාර නමැති මෙම සැකකාර වෛද්‍යවරයා ඊයේ (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙම බිලිඳු ජාවාරම හා සම්බන්ධ බව කියන සැකකාර වෛද්‍යවරයාගේ බිරිය යැයි පවසන කාන්තාව හා බිලිඳු දැරියගේ මව දැනට අධිකරණය ඇප මත මුදාහැර සිටිති.
ළමා හා කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් මත දැරිය මිලට ගැනීමට යන මුවාවෙන් කොල්ලුපිටියේ ගාලු පාරෙහි පිහිටි නිවසකට වෙස්වලාගෙන ගිය පොලිස් නිලධාරියකු හා පොලිස් කාන්තාවක විසින් මුදල් නෝට්ටු ලෙස පෙනෙන අයුරින් කඩදාසි මිටියක් දැමූ ලියුම් කවරයක් සැකකාර වෛද්‍යවරයාගේ බිරිය යැයි පවසන කාන්තාවට දුන් පසු දරුවා සමඟ සිටි මව ඔවුන් වෙත යොමු කැර ඇති බව කියයි.

ඉන්පසු තමන් පොලිස් නිලධාරින් බවට ඔවුනට හඳුන්වා දී සැකකාර කාන්තාවන් දෙදෙනා බිලිඳු දරුවකු මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. තැලමඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ දැරියගේ මව අතවරයකට ලක්වීමෙන් පසු මෙම දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී උපත ලබා ඇති බව කියයි.

බිලිදු දැරියගේ මව දරුවා ලැබීමට ප්‍රථම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම සැකකාර වෛද්‍යවරයා වෙත ගොස් ඇති බවත්, දරුවා ඉපදුණු පසුව දරුවන් නොමැති යුවළකට දරුවා හදා ගැනීමට දිය හැකි බවට එම වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් මත කොල්ලුපිටියේ සිටි වෛද්‍යවරයාගේ බිරිය යැයි පවසන මෙම සැකකාරිය හමුවීමට පැමිණි බව දැරියගේ මව ළමා හා කාන්තා කාර්යාංශයට පවසා තිබුණි.

එම නිවසේ දී දරුවා හදා ගැනීමට පැමිණි යුවළ හඳුන්වා දුන් බවත්, ඔවුන් පොලිස් නිලධාරින් බව පසුව දැනගත් බවත් පවසා ඇති දැරියගේ මව තම දරුවා මුදලකට විකිණීමට සූදානම් කැර සිටි බවක් තමන් නොදන්නා බවද එසේ දැන සිටියේ නම් කිසිසේත් කොළඹට නොඑන බවත් පවසා ඇත. බිලිදු දැරිය අධිකරණය මගින් ඇගේ මවගේ බාරයට පත්කැර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මෙම සැකකාර වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කැර තිබූ අපේක්ෂිත ඇප අයදුමද අධිකරණය මගින් ප්‍රතික්ෂේප කැර තිබුණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා