ජනසභා ලේකම් තනතුරු සඳහා සම්මුඛ පරීක්‍ෂණ ලබන මාසේ

ජනසභා ලේකම් තනතුරු සඳහා සම්මුඛ පරීක්‍ෂණ ලබන මාසේ

ජන සභා ලේකම් තනතුරුවලට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාසය තුළ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ ( 8 ) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ මේ වනවිට ජනසභා ලේකම් තනතුරු සඳහා 36000ක් අයැදුම් පත් ලැබී තිබෙන බවත් මේ පත්වීම් අදියරෙන් අදියර ලබාදෙන බවත්ය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් පළාත් පාලන පනත සංශෝධනය කර පළාත් පාලන බල ප්‍රදේශ නම් කරන තුරු, කොපමණ සංඛ්‍යාවක් බඳවා ගන්නේ දැයි තීරණය කළ නොහැකි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිසත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිණිසත්, ජන සභා ලේකම් තනතුරුවලට උපාධිධාරිහු බඳවා ගැනෙති.

මේ උපාධිධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දී ග්‍රාමීය මට්ටමින් සිටින රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන් සංවර්ධන කාර්යන් වෙනුවෙන් සම්බන්ධිකරණය කෙරේ. ජනසභා ලේකම්වරුන්ගේ කාර්ය භාරය එය වන බව අබේවර්ධන මහතා පැවසීය. ජන සභාවල සභාපතිධූරය ඒ වසමේ පළාත් පාලන මහජන නියෝජිතයාටද ලේකම්ධූරය උපාධිධාරියාටද හිමි වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා