ශ්‍රී ලංකා ජනපති මැදිහත් වී මාලදිවයින් අර්බුදය විසඳීම මේ රටට ගෞරවයක්

ශ්‍රී ලංකා ජනපති මැදිහත් වී මාලදිවයින් අර්බුදය විසඳීම මේ රටට ගෞරවයක්

- විදේශ කටයුතු අමාත්‍යාංශය

මාලදිවයිනේ පැවැති අර්බුදකාරී දේශපාලන වාතාවරණයට අවශ්‍ය විසඳුම ලබාදීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකිවීම මිතුරකු සහ අසල්වාසියකු වශයෙන් ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (7) මාලදිවයිනේ සුහද චාරිකාවක නිරත විය. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ්, විපක්ෂ නායක අහමඩ් තස්මීන් අලී, අගවිනිසුරු හා කතානායක හා හිටපු ජනාධිපති මයුම් අබ්දුල් ගයුම් යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

මීට අමතරව විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද එහිදී මුණගැසිණි. මාලදිවයින් ප්‍රධාන පෙළේ ව්‍ය්‍යාපාරිකයෝ කීපදෙනෙක්ද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළහ.

මේ අනුව මාලදිවයින් රජය සහ විරුද්ධ පක්ෂය දැනට පවත්නා අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇත.  දැනට උද්ගත වී තිබෙන මූලික ප්‍රශ්න පිළිබඳව ඉදිරියටත් සාකච්ඡා පැවැත්වීම සඳහා රජයේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් හා විපක්ෂයේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ගැනීමටද එරට පක්ෂ විපක්ෂ නියෝජිතයෝ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉදිරියේ එකඟවූහ.

මේ කමිටුව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම හා ව්‍යවස්ථාදායකයේ කටයුතු ක්‍රමානුකූලව පවත්වාගෙන යාම වැනි වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතරව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා