ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මා. හිමිකම් ලොක්කී හමුවෙති

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මා. හිමිකම් ලොක්කී හමුවෙති

ජිනීවා නුවරදී ද්විපාර්ශ්වික හා කණ්ඩායම් සාකච්ඡා

ශ්‍රී ලංකාවට එරෙහි ව නැඟෙන මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු දීම සඳහා ද එම ව්‍යාජ චෝදනාවලින් නිදහස් වීම සඳහා ද මෙරට නියෝජිතයෝ සූක්ෂ්ම හා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිති.මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස මේ වන විටත් රටවල් ගණනාවක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ද කණ්ඩායම් සාකච්ඡා ද පවත්වා ඇත.

එම සාකච්ඡා බෙහෙවින් සාර්ථක බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියයි. ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා නඟන අය උගත් පාඩම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන කියති. ශ්‍රී ලංකා නියෝජිත පිරිස පෙන්වා දී ඇත්තේ ගිය දෙසැම්බර් 17 දා ඉහත කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව හා එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව ය.

දකුණු අප්‍රිකාව වැනි රටවල් උගත් පාඩම් පිළිබඳ කොමිසන් වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වසර අටක පමණ කාලයක් ගෙන ඇති බව ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස පෙන්වා දී තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා හමු වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන සාමකාමි හා නිදහස් තත්ත්වය පෙන්වා දී ඇති අතර මෙරට ජනවාර්ගික අර්බුදය මුළුමනින් ම විසැඳීම සඳහා දේශජ විසඳුමක් හා දේශජ ක්‍රමවේදයක් අනුගමනය කරන බව ද පෙන්වා දී සිටිති.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා න්‍යාය පත්‍රයක් හා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කරන බව ද නියෝජිතයන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවට එරෙහි ව මානව හිමිකම් චෝදනා නඟන බටහිර ධනපති රටවල් සේ ම ශ්‍රී ලංකාවට හිතැති ආසියා හා අපි‍්‍රකා රටවල් ද දැනුවත් කිරීමට අප නියෝජිත පිරිස සමත් ව සිටිති.ශ්‍රී ලංකාවට එරෙහි ව දැඩි ලෙස විවේචන ඉදිරිපත් කරන නවනීදන්පිල්ලේ හා දෙමළ බෙදුම්වාදයට සහයෝගය දක්වන රටවල නියෝජිතයන් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රමුඛ නියෝජිත පිරිස පියවර ගෙන තිබේ. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලයට සහභාගී වීම සඳහා ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ඇමැති මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරු ඇතුªළු නිලධාරී පිරිසක් එක්ව සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා