ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීමට ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතුයි

ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීමට ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතුයි

ඇමැති කෙහෙළිය ඕස්ට්‍රේලියාවේ සිට කියයි

මවුබිම වෙනුවෙන් දිවි පරදුවට තබා එඩිතර රාජ්‍ය නායකයකු ලෙසින් සියලු බලපෑම්, කුමන්ත්‍රණ, අභියෝග හමුවේ නොසැලී රටට අභිමානවත් නිදහස උරුම කැර දුන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කළගුණ හඳුනන ශ්‍රී ලාංකීය ජනතාව මේ මොහොතේ එකාමෙන් එක්ව උපරිම සහාය ලබා දිය යුතු යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඕස්ට්‍රේලියාවේ සිට දිනමිණට පැවසීය.

එදා ත්‍රස්තවාදය පැරදවීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කළ ඇතැම් ජාත්‍යන්තර කණ්ඩායම් අදත් උත්සාහ කරන්නේ එදා ඔවුන්ගේ හඬට යට නොවී රටක් ලෙස අප ත්‍රස්තවාදය පැරැදවීමේ පලිය මේ මොහොතේ ලබාගැනීමට යැයිද රඹුක්වැල්ල මහතා කීය. ඕස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර ඇල්කටොට් ඇල්ෆඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඇමැතිවරයා මේ බැව් පැවසීය.

ත්‍රස්තවාදය පැරදවීම නිසා අද වැඩියෙන්ම ජයග්‍රහණ ලබා ඇත්තේ අහිංසක දමිල ජනතාව යැයි ද තවත් දශක ගණනාවක් ඔවුන් ප්‍රභාකරන්ගේ යකඩ සපත්තුවට යටවී සිටිනු දැකීමට ජාත්‍යන්තර කණ්ඩායම්වල සතුට වී ඇතැයි ද හෙතෙම කීය.

අද මානව හිමිකම් ගැන කතා කරන ජාත්‍යන්තර කණ්ඩායම් එදා ප්‍රභාකරන් ප්‍රමුඛ ඔහුගේ ගෝලබාලයන් අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු සියලු නිදහස අහිමිකරමින් ඔවුන් අතට පොත වෙනුවට තුවක්කුව බෝම්බය ලබාදී ළමා සොල්දාදුවන් බවට පත්කරන බව එකදු වචනයක් හෝ කතා නොකර මුනිවත රැකි බවද ඇමැතිවරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා