ටොන් 1.5ක් බර වාහන 34ක් අත උඩින් ධාවනය කරවයි

ටොන් 1.5ක් බර වාහන 34ක් අත උඩින් ධාවනය කරවයි

වරාය අධිකාරියේ මුදන්නායක ගිනස් පොතට

මෙට්‍රික් ටොන් 1.5 ක් බර එල්.300 වර්ගයේ වාහන 34 ක් මිනිත්තු 15 ක් තුළ සිය දකුණු අත මත ධාවනය කරවීමෙන් ලොව ශක්තිමත්ම ඇඟිලි සහිත මිනිසා ලෙස ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ජනක කාන්චන මුදන්නායක මහතා ගාලුමුවදොර පිටියේදී ඊයේ (24) සමත් විය. 332495 යන සාමාජික අංකය යටතේ ලෝක ගිනස් කමිටුවේ ලියාපදිංචිව ඇති මුදන්නායක මහතාගේ දෑත් මතින් රෝද 64 ක් ධාවනය විය.

වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයත් බන්දු වික්‍රම යන මහත්වරුන්ගේ සහභාගිත්වය හමුවේ මුදන්නායක මහතා මේ විශිෂ්ට ජයග්‍රහණය අත් කර ගත්තේ ය. පස් වසරකට පෙර අභාවප්‍රාප්ත මුදන්නායක මහතාගේ පියා වන ගාමිණී වසන්ත කුමාර මහතා මෙට්ට්‍රික් ටොන් 200 ක් බර කෝච්චියක් දත් වලින් ඇදගෙන යාමෙන් ගිනස් වාර්තා තබා ඇති අතර තම පියා ගත් ගමන් මග ඔස්සේ යාමට තමා තීරණය කළ බව ජනක මුදන්නායක මහතා පැවසීය.

මින් පෙර මෙට්ට්‍රික් ටොන් 9.5 ක් බරැති කෝච්චි පෙට්ටියක් අතැඟිලිවලින් තල්ලු කිරීමේ ගිනස් වාර්තාවක්ද තබා ඇති ජනක මුදන්නායක මහතාගේ ඊළඟ අරමුණ වී ඇත්තේ ටොන් 500 ක් බරැති නෞකාවක් ඇදගෙන යාමයි. එමෙන්ම පියාගේ ගිනස් වාර්තාව අලුත් කිරීමටද ඔහු අපේක්ෂා කරයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වන මෙවැනි ක්‍රීඩකයින් ඉදිරියට ගෙන ඒමත් ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා එළි දැක්වීමට සහයෝගය දී ඔවුන්ගේ නාමාවලිය ඉතිහාසයට එක් කිරීමටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා එම අවස්ථාවට සහභාගී වෙමින් පැවැසීය.

අතීතයේ සිට අපේ රටේ යම් යම් ක්‍රීඩාවන් ලෝක ප්‍රසිද්ධියට පත් වන බවත් මෙවැනි සැඟවුණු හා ජන්ම දක්ෂතා එළිදැක්වීමට රජය සහයෝගය පල කරන බවත් පැවසූ අතර ගිනස් වාර්තාව තබා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම සම්බන්ධයෙන් ජනක මුදන්නායක මහතාට උනුසුම් සුභ පැතුම් පිරිනමන බව ප්‍රකාශ කළේ ය. එම වාර්තාව තැබීමෙන් අනතුරුව දත් වලින් වාහන හයක් ඇදගෙන යාම, උරහිසත් පපුවත් වටා දැමූ ලණුවක් ආධාරයෙන් තවත් වාහන දහයක් ඇදගෙන යාමේ පෙර පුහුණුවක්ද ප්‍රදර්ශනය කළේ ය.

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා