ලංකා ඉරිදා පුවත්පතට පැනවූ තහනම ඉවතට

ලංකා ඉරිදා පුවත්පතට පැනවූ තහනම ඉවතට

“ලංකා ඉරිදා සංග්‍රහය” පුවත්පතේ ලියාපදිංචිය වෙනස් කිරීම හෝ නව අයිතිකරුවකු පත්කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත්කර තිබූ වාරණය කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊයේ (24) ඉවත් කළේය. ලංකා ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශක ලෙස එල්.ඩී.ධර්මසේන මහතා හා අයිතිකරු ලෙස නාත් යසලාල් මහතා පුවත්පත් ආඥාපනත අනුව පත්කර නිත්‍යානුකූලව දිවුරුම් දී ඇති බවත් සඳහන් කරමින් වාරණ නියෝගය විසුරුවා හැරී විනිසුරුවරයා අතුරු තහනම් ඉල්ලීම ද ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.

පුවත්පත් අධ්‍යක්ෂ මණ්ඩලයට හා ප්‍රකාශන සමාගමට මේ වාරණය නිකුත් කර තිබිණි. ලංකා පුවත්පතේ ලියාපදිංචි අයිතිය හා ප්‍රකාශන සමාගමේ හිමිකාරත්වය තමන් සතුයැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණ කැරලිකාර පාර්ශ්වය නියොජනය කරන වෙනුර හේරත් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව පසුගිය ඔක්තොම්බර් මස 08 දින සිට මේ වාරණය නිකුත් කර තිබිණි. ලංකා පාස්ට් පබ්ලිෂර්ස් ආයතනයට හා අධ්‍යක්ෂවරු වන දොන් ධර්මසේන ටී.වී.නාත් යසලාල් මහත්වරුන්ට නිකුත් කර තිබූ වාරණය මෙසේ විසුරුවා හැරීය.

වාරණ නියෝගයට එරෙහිව විරෝධතා ගොනු කළ විත්තිකාර පාර්ශ්වය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ලංකා පුවත්පතේ අයිතිකරු ලෙස නාත් යසලාල් මහතා නුගේගොඩ දිසා විනිසුරුවරයා ඉදිරියේ දිව්රුම් දී ඇති බවත්, එම දිවුරුම් දීම මේ නඩුව පැවරීමට පෙර සිදුවූවක් බවත් සඳහන් කළේය. පැමිණිලිකරු ජනරළ ඉරිදා සංග්‍රහය නමින් පුවත්පතක් ප්‍රකාශයට පත්කරන බවද සඳහන් කළේය. කරුණු සලකා බැලූ විනිසුරුවරයා පැමිණිලිකරු විසින් ලංකා පුවත්පතේ ප්‍රකාශකයා ලෙස පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා පත් කිරීම සද්භාවයෙන් කර නොමැති බවත්, බැලු බැල්මට පෙනෙන නඩු නිමිත්තක් පැමිණිලිකරුට නොමැති බවත් සඳහන් කළේය.

නඩුවේ විත්තිකරුවකු ලෙස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ වරයා නම්කර ඇතත් නිත්‍යානුකූලව රජයේ නිලධාරියකු නඩුවක විත්තිකරු කරන ක්‍රියා පිළිවෙත අනුගමනය කර නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා නඩුව පවරා ඇත්තේ ලේඛනාරක්ෂක අධ්‍යකෂවරයාගේ අධිකරණ බල ප්‍රදේශයට අදාළ වුවත් ඔහුට එරෙහිව නඩු නිමිත්තක් නොමැති බව පැවසීය. මේ අනුව පැමිණිල්ලේ වාරණය විසුරුවා හැරී විනිසුරුවරයා අතුරු තහනම් ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නුවන7් බෝපගේ මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සමඟ නීතිඥ සුනිල් වටගල මහතා පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා