ශ්‍රී ලාංකේය ජන විඥානයේ පිළිබිඹුව

ශ්‍රී ලාංකේය ජන විඥානයේ පිළිබිඹුව

ඉලක්කගත අරමුණක් සහිත චින්තනයකින්, තොර වූ ඕනෑම සාධකයක් ස්වභාවිකවම වියකී යන්නේය. පුද්ගලයෙකුට ද සමාජයට ද රාජ්‍යයකට ද එය පොදුය. එක් රටක් ලෙස, ගොඩනැඟී ආශ්චර්යමත් දිවයිනක් නිර්මාණය කර ගැනීම සඳහා වන චින්තනයක් නොතිබූ අවධියක් අපි පසු කළෙමු.

කුමන අභියෝග හමුවේ වුව රටට ආදරය කරන මානසිකත්වය ජනතාවගෙන් ඈත් කොට තාවකාලික වූද පටු වූද ගමන් මඟක රටත් ජනතාවත් ගෙන ගිය යුගය අප පසු කළෙමු. එවන් යුගයක රට කොටස්කර වර්ගවාදී පදනමින් ඒ ඒ පිරිස් වෙත පැවරුවාට කම් නැතය යන චින්තනයක් සමාජගත කරන්නට ඇතැමුන් ක්‍රියා කරමින් සිටියහ.

“අපේය” යන මානසිකත්වය ජනතාවගෙන් ඈත් කරන්නට මහත් උත්සහයක් ගත්හ. ශ්‍රී ලාංකීය උරුමය වෙන්දේසි කොට විකුණුව ද එය එතරම් සිතිය යුතු සාධකයක් නොවේය යන දුබල මනෝභාවයක් සමාජගත වී තිබුණි.

මෙම යුග තුළ රටක් ජනතාවත් යන මඟක් නොදැන හුදු ආත්මාර්ථය පිණිසම මෙහෙයවන්නට විය. එහෙත් අපට අපේය කියා චින්තනයක් ඇති බවත් ඒ තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනගා ගත හැකි බවත් මහජනතාවට වඩාත් හෘදයාංගමව දැනෙන්න පටන්ගන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රවිශ්ටයත් සමඟය. දරුවන් මවුපියන්ට ආදර ගෞරව කරන්නේ යම් සේ ද ඒ මෙන් උපන් භූ®මියට ආදරය ගෞරව කරන්නට මහජනතාව උත්සුක වන තත්වයක් රට තුළ නිර්මාණය කිරීමට මහින්ද චින්තනයට හැකි විය.

“අපේකම” මහින්ද චින්තනයේ පදනමයි. එහි ප්‍රතිඵලය වූයේ අපේ මවුබිම, අපේ උරුමය, අපේ සංස්කෘතිය, අපේ සම්පත් යනාදී වූ දේශජ මානසිකත්වයක් ලොකු කුඩා සමස්ත ශ්‍රී ලාංකිකයන් තුළ නැවත රෝපණය වන්නට වීමයි. ත්‍රස්තවාදය ජයගත නොහැකි යැයි සමාජගත කර තිබූ පටු දේශපාලනික මානසිකත්වය වෙස්කොට ත්‍රස්තවාදය අවසන් කිරීමට මහජන ශක්තිය එක්වූයේ ඒ හේතුවෙනි. විජාතික මානසිකත්වයට වඩා “ අපේකම” අපට වටිනා බව ජනතාවට දැනෙන්නට වූයේ ඒ හේතුවෙනි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යනු ශ්‍රී ලාංකේය ජන විඥානයේ පිළිබිඹුවකි. මිනිසාට පමණක් නොව ගහට කොළට සතා සිවුපාවාට ආදරය ගෞරවය දක්වන නිදහස් සිතුවිලි වලින් පෝෂිත ජනතාවක් අප රට සතුය. එම ගුණාංග සහිත ජනනායකයෝ කවදත් මෙරට සුවිශේෂි නායකයෝ බවට පත්වූහ. මහින්ද රාජපක්‍ෂ මහතා තුළ උත්සහවන්තකම, කැපවීම, ඉවසීම, නොසැලෙන බව, අධිෂ්ඨානය, මානව , දයාව, පරිසර හිතකාමී බව වැනි උතුම් ගුණාංග රෝපණය වන්නේ් බෞද්ධ දර්ශනයේ ආභාෂයෙනි.

ලොව බිහිසුණු යැයි ප්‍රකාශිත එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදයට වසර 30ක් මුහුණ දී ෆැසිස්ට් පාලනයට නතුව සිටි ජනතාව ඉන් බේරා ඔවුන් ප්‍රජාතනන්ත්‍රවාදී සමාජයට මුසුකිරීමේ කාර්යභාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සය වසරක පළමු පාලන කාලයේ දී සාර්ථක කර ගැනීමට හැකි විය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ සංවර්ධන ඉලක්ක සපුරා ලෝක ආර්ථික, දේශපාලන ප්‍රවාහයේ කේන්ද්‍රීය සාධකය බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය කාර්යභාරය මේ වන විට සපුරමින් සිටීම මෙම පින් බිමේ ජනතාව ලෙස ආඩම්බරයෙන් සතුටුවිය යුතු කරුණකි. මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබූ සමාජයක සිටින ජනතාවට එම අයිතිවාසිකම් සුරක්‍ෂිත කරදුන් පසු ඔවුන් නිරායාසයෙන්ම රටේ සංවර්ධන කාර්යට දායක වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු විනාශ වී ගිය ඇමෙරිකාව ඇතුළු. යුරෝපයේ මානව හා භෞතික සම්පත් නගාසිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය මුල් වී මානව සංහතියේ තිරසාර පැවැත්ම උදෙසා කෙටි කාලීන හා දිගුකාලීන වූ  ප්‍රධානතම සැලැස්මක් සකස් කළේය. සිංගප්පූරුව අන්ත අසරණ මට්ටමට වැටී තිබූ අවධියක ලීක්වාන් යූ ස්ථිරසාර වූ සැලැස්මක් යටතේ රට ගොඩනැගීය. මහතීර් මොහොමඩ් මැලේසියාව ගොඩනගන්නෙත්, ඉතා අඩු කාල සීමාවක දී දකුණු කොරියාව සංවර්ධන ඉලක්ක සපුරා ගනු ලබන්නේත්, අද වන විට වියට්නාමය සංවර්ධන ඉලක්ක සාධනීය මට්ටමින් සපුරනු ලබන්නේත් මහා සැලැස්මක් යටතේය.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත

මේ සෑම රටකම තනි ධනවාදයක් හෝ තනි සමාජවාදයක් ක්‍රියාත්මක නොකරයි. තනි සමාජවාදයක් ගෙන ගිය සෝවියට් දේශය කඩාවැටුණි. එහෙත් සමාජවාදී හා ධනවාදී ප්‍රවාහයන් දෙකෙහි මිශ්‍රනයෙන් අදවන විට චීනය හා ඉන්දියාව ලෝකයේ ආර්ථික බලාගාර බවට පත් වී ඇත. යුද්ධය අවසන් කළ ශ්‍රී ලංකාව සංවර්ධනීය ඉලක්ක සැපිරීම සඳහා තුන් කල් බලා සැලැස්මක් සකස්කිරීමට හා එය ක්‍රමානුණුකූලව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පියවර ගෙන තිබේ. රටක් ස්වයංපෝෂිත වීම සඳහා එරට කෘෂිකර්මාන්තය දිගුකල් දැක්මකින් යුතුව සංවර්ධනය කළ යුතුව ඇත.

ලෝකයේ සංවර්ධිත රටවල් අතර කේන්ද්‍රිය රටක් වීම සඳහා තොරතුරු තාක්‍ෂණය මූලික කරගත් කාර්මික දියුණුවක් අත්පත් කර ගැනීමට ද අපට සිදුවේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම නම්, සංවර්ධනීය සැලැස්ම යටතේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම සඳහා නාවුක, ගුවන්, වාණිජ, බලශක්ති හා දැනුම් කේන්ද්‍රය ලෙස පංචබල කේන්ද්‍රියන් ඉදිරිපත් කර තිබේ.

දිගුකාලීන වූ තිරසාර සංවර්ධනයක් උදෙසා බල කේන්ද්‍රිය සාධක මේ වන ෂට යහපත් ලෙස ක්‍රියාත්මක වෙමින් එහි ආර්ථික, සාමාජීය වාසි සමාජගත වෙමින් පැවැතීම සතුටට කරුණකි.

ඉලක්කයක් නොමැතිව තිබූ ආර්ථිකයට දීර්ඝකාලීන දැක්මක් සහිත ඉලක්කයක් මහින්ද චින්තනය තුළින් ඇති කෙරිණි. ශ්‍රී ලාංකීය සම්පත් කිසිදු වගවිභාගයකින් තොරව විදේශිකයන්ට හා පෞද්ගලික සමාගම්වලට විකුණමින් ගිය ගමනක් නතර වන්නේ මහින්ද රාජපක්‍ෂ ආගමනයත් සමඟය. රාජ්‍ය දේපළ කිසිවක් පෞද්ගලීකරණය නොකිරීමේ ශික්ෂාවකට මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සන්ධාන විජය අවතීර්ණ විය.

ජනාධිපතිතුමාගේ ජනපති දෙවන පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය සමරන මේ අවස්ථාවේදී එතුමන් වෙත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෘදයාංගම සුබපැතුම් එක්කරන අතරම ජනාධිපතිතුමන් ඇරැඹූ මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට මීළඟ වසර කිහිපය තුළදී පත්කර ගැනීම සඳහා එතුමන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී බව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා