සටන් දෙකක් ජයගත් නියමුවා

සටන් දෙකක් ජයගත් නියමුවා

මෙරට ආර්ථිකයේ මෙතෙක් වාර්තා වූ ඉහළම වර්ධනය වූ 8.3% ක් පසුගිය වසරේදී (2011) වාර්තා විය.ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව මෙරට ආර්ථික වර්ධනය සියයට අට (8%) ඉක්ම වූ දෙවැනි අවස්ථාව මෙයයි. ඊට පෙර වර්ෂයේ දී ද (2010) මෙරට ආර්ථික වර්ධනය සියයට අට ඉක්මවා ගියේය.

දශක තුනකට අධික කාලයක් මේ රටේ ජනතාව පීඩාවට පත් කළ කුරිරු ත්‍රස්තවාදය නිමාවට පත් වූයේ 2009 වසරේ දීය. රටේ සංවර්ධනයට ප්‍රමුඛතම බාධාව මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදය බව පෙන්වා දීමට අටුවා ටීකා අවශ්‍ය නැත. ත්‍රස්තවාදයෙන් මේ රට - බේරා ගැනීමට නායකත්වය දුන් නියමුවා වන්නේ් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය.

ආර්ථික වශයෙන් මේ රට ඉදිරියට ගෙන යන සටනේ නියමුවා වන්නේ ද ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාය. රටේ සංවර්ධනයට බාධා කළ ත්‍රස්තවාදය නිමා කිරීමට ජනපති මහින්දට හැකි වූයේ එතුමා සතු අධිෂ්ඨානය, කැපවීම, ධෛර්යය සහ අවංක උත්සාහකම නිසාය. ත්‍රස්තවාදයට එරෙහි සටන කිසිදා ජයග්‍රහණයකින් කෙළවර කළ නොහැකි බව ජනපති මහින්ද ගේ විරුද්ධවාදීන් එදා ප්‍රකාශ කළහ. අවාසනාවකට මේ රටේ ප්‍රධාන විපක්ෂය ද එම මතයේ එල්බ සිටියහ.

එහෙත් විරුද්ධවාදීන්ගේ අවලාදවලට ද නිසි පිළිතුරු ලබාදෙමින් බොහෝ දෙනා “බැහැ” යයි කියූ ත්‍රස්තවාදයට එරෙහි සටන ජය ගැනීමට ජනපතිතුමන් ප්‍රමුඛ රජයට හැකි විය. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සුළු පිරිසක් හැර රටේ බහුතර ජනතාවක් එකම අරමුණකට පෙළ ගැස්වීමට රජයට හැකි විය.

සැබවින්ම ජනපතිතුමන් ප්‍රමුඛ රජයට සටන් කිරීමට සිදු වූයේ කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව පමණක් නොවේ. ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන දේශීය මෙන්ම ජාත්‍යන්තර බලවේගවලට එරෙහිව සටන් කිරීමට ජනපතිතුමන් ප්‍රමුඛ රජයට සිදු විය.

ත්‍රස්තවාදයට එරෙහි සටන ජය ගත්පසු ජනපතිතුමන් ක්ෂණිකව අවධානය යොමු කළේ ත්‍රස්තවාදයෙන් මුදා ගත් රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටය. වසර දෙකක් ගතවීමට පෙර එම කාර්යය ද සාර්ථකව ඉටු කිරීමට රජයට හැකි විය.

ත්‍රස්තවාදයට එරෙහි සටන ජය ගත්තත් ජනපති මහින්ද ට ආර්ථික සටන ජය ගත නොහැකි බව විරුද්ධවාදීන් මතයක් පැතිර වූූයේ ඉන් අනතුරුවය. මේ වන විට ජනපති මහින්ද ප්‍රමුඛ රජය එම අවලාදයට ද පිළිතුරු සපයමින් තිබේ. අද වනවිට මේ රටේ මාර්ග පද්ධතිය විප්ලවීය සංවර්ධනයකට ලක්ව තිබේ. ගුවන් තොටුපළ, වරාය, මං මාවත් ඉදි වෙමින් තිබේ.

රටක සංවර්ධනයට බෙහෙවින් ඉවහල්වන විදුලිබල අංශයේ විශාල සංවර්ධනයක් ද සිදු වෙමින් පවතී. නගර කේන්ද්‍ර කරගෙන තිබූ සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ග්‍රාමීය ප්‍රදේශ කරා ද ගමන්කර තිබේ. කොළඹ නගරය ලොව ප්‍රධාන පෙළේ අග නගරයක් ලෙස සංවර්ධනය වෙමින් පවතී.

මේ අයුරින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවහොත් 2020 දී දකුණු ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ජනපති මහින්ද ප්‍රමුඛ රජයට හැකි වන බව නො අනුමානය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා