දෝෂාභියෝගය...

දෝෂාභියෝගය...

විමර්ශනය නිමවනතුරු ඉවසමු

අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා දාහතරකින් යුත් දෝෂාභියෝගය ගැන තවමත් පළින් පළ මත ප්‍රකාශ වෙමින් පවතී. දෝ්ෂාභියෝගයේ අඩංගු චෝදනා විමර්ශනයට පත් කළ තේරීම් කාරක සභාව තහනම් කරන රිට් ආඥාවක් ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් හතරක් අභියාචනාධිකරණය හමුවේ ඇත. එම පෙත්සම් හතර සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (03) වගන්තිය පිළිබඳ අර්ථ නිරූපණයක් ලබාගැනීමට දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබේ.
ගම්පොළ ජිනරාජ විද්‍යාලයෙන් පටන් ගත් අසාත්මිකතාව දැන් රටේ අනෙකුත් පාසල්වලටත් පැතිර ගොස් තිබේ.

මේ නිසා කරදර විඳින්නේ අහිංසක පාසල් දරුවන් වීම කනගාටුවට කරුණකි. අසාත්මිකතාව යන ගැඹුරු වචනයෙන් හඳුන්වන මෙයට දන්න සිංහලෙන් කියන්නේ ඇඟට අල්ලන්නේ නැති රෝගය බවයි.

එම රෝගය ගැන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අය විවිධ මත පළ කරමින් සිටිති. ප්‍රශ්නයට විසැඳුමක් හැකි ඉක්මනින් ලබා දෙන්නට හැකිකම තිබේ නම් එය මේ විදියට පැතිර නොයන බව අපේ හැඟීමයි.

තේරීම් කාරක සභාවට පත් කළ ඇතැම් සාමාජිකයන් පක්ෂග්‍රාහී බවට අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ කරුණු යොමු කළ යුත්තේ තේරීම් කාරක සභාවටම බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම විරෝධතා දැක්වීම තුන්වන පාර්ශ්වයකට නොව විත්තිකරු සතු අයිතියක් බව විනිසුරුවරයා ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

අධිකරණය හමුවේ ඇති නඩු කටයුත්තක් ගැන හෝ දෝෂාභියෝගයේ අඩංගු චෝදනා ගැන හෝ කරුණු කියන්නට අපි සූදානම් නොවෙමු. එය අප සතු කාර්යයක්ද නොවේ. එහෙත් දෝෂාභියෝගයක් කතානායකතුමාට භාරදීම සැබෑවකි. එය විමර්ශනයට තේරීම් කාරක සභාවක් පත්කළ බව ද සත්‍යයකි. එම කාරක සභාවට ආණ්ඩුව වෙනුවෙන් හත් දෙනෙක් ද විපක්ෂයෙන් සිව් දෙනෙක්ද පත්කර සිටිති.

මේ සියලු දේ සිදු වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව නීතිවේදීහු පෙන්වා දෙති. එමෙන්ම දෝෂාභියෝග ක්‍රියාවලිය අමුතු දෙයක් ද නොවේ. එවැනි දෝෂාභියෝග දෙකක් මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරිපත් කර තිබේ.

ඒ දෙකම අගවිනිසුරුවරුන්ට එරෙහිව ය. ඒ දෙකම ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. අගවිනිසුරු සරත් එන් ද සිල්වාට එරෙහිව එජාපය ඉදිරිපත් කළ දෝෂාභියෝගයට අද බොරුවට දඟලන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ද අත්සන් කළහ.

ඒ නිසා ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් වූ දෝෂාභියෝගයක් ව්‍යවස්ථාවට අනුකූලව පත්කළ තේරීම් කාරක සභාව හමුවේ විමර්ශනයට ඉඩ දී කවුරු කවුරුත් දැන් නිහඬ වන්නේ නම් එය චෝදනා ලැබූ අයට ද ගුණදායක ය. ඒ, තේරීම් කාරක සභාව හමුවේ චූදිතයාට ද කරුණු දක්වා නිර්දෝෂීභාවය සනාථ කිරීමේ ඉඩකඩ ඇති බැවිනි.

සියලුම දේට විරුද්ධ වීමට ඇති අයිතිය ගැන අපි විරුද්ධ නොවෙමු. එහෙත් ආණ්ඩුවට එරෙහි විය යුතු නිසා යමකට විරුද්්ධ වන්නේ නම් එය අපි බැහැර කරමු.

අසාත්මිකතාව තවමත් ඉවර නැද්ද?

ගම්පොළ ජිනර­ාජ විද්‍යාලයෙන් පටන් ගත් අසාත්මිකතාව දැන් රටේ අනෙකුත් පාසල්වලටත් පැතිර ගොස් තිබේ. මේ නිසා කරදර විඳින්නේ අහිංසක පාසල් දරුවන් වීම කනගාටුවට කරුණකි. අසාත්මිකතාව යන ගැඹුරු වචනයෙන් හඳුන්වන මෙයට දන්න සිංහලෙන් කියන්නේ ඇඟට අල්ලන්නේ නැති රෝගයක් බවයි. එම රෝගය ගැන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ අය විවිධ මත පළ කරමින් සිටිති.

 ප්‍රශ්නයට විසැඳුමක් හැකි ඉක්මනින් ලබාදෙන්නට හැකිකම තිබේ නම් එය මේ විදියට පැතිර නොයන බව අපේ හැඟීමයි. ඒ නිසා දැන්වත් මාධ්‍යවලට විවිධ අදහස් පළ කරමින් වීරයන් වන්නට දඟලන්නේ නැතිව රෝගය හඳුනාගෙන එය පැතිර යාම වහාම වැළැක්විය යුතුය. හොඳ වෙලාවට එම රෝගයටත් රතු වැස්සටත් ආණ්ඩුව සම්බන්ධ බව විපක්ෂය කියා නැත.

සොබා දහම නිසා සිදුවන සියලු දේවල් ද ආණ්ඩුවට පැවරීම විපක්ෂයේ පුරුද්ද නිසා අපි එසේ කියා සිටියෙමු. පාසල් හයක සිසු සිසුවියන් 149 දෙනෙකුට වැලඳී ඇති මෙම රෝගය තවත් සිසුන් අතරට යාමට ඉඩ නොදී පිළියම් යෙදීමට ක්‍ෂණික පියවරක් ගත යුතුම ය.

ලෝක වාර්තා සහ අයවැය විවාදය

විපක්ෂ නායකවරයාත්, මුලසුනේ සිටි සභාපතිවරයාත් අතර පසුගියදා උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. මුලසුනේ සිටියේ ඒ. එච්. එම්. අස්වර් ය. මෙම උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාත් කතානායකවරයාත් ක්‍රියා කළ ආකාරය කාගේත් විමසුමට හේතු වී තිබේ. ඒ නිසා එයට පසුබිම් වූ හේතු කෙටියෙන් වුවද මෙහි සටහන් කිරිම වැදගත් වනු ඇත.

සරත් ෆොන්සේකාගේ පක්ෂයේ සිට ඉල්ලා අස්වූ ටිරාන් අලස් මහතා ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කාගේත් අවධානයට යොමු කළ කරුණ හාස්‍යජනක ය. වික්‍රමසිංහ මහතා කීවේ වසර තුනක් පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා නොකොට වාර්තාවක් පිහිටුවා ඇති ටිරාන් අලස්ට තෑග්ගක් දිය යුතු බවය. මේ ගැන ටිරාන් අලස් පසුවදාම කට ඇරියේ ය.

විපක්‍ෂ නායක වශයෙන් වසර 16ක් තුළ හැම ඡන්දයක් පැරැදුන රනිල් වික්‍රමසිංහ තබා ඇති වාර්තාවලට තෑගි දිය යුතු බව අලස් මහතා කීවේය. විපක්‍ෂ නායකයා සහ ටිරාන් අලස් මන්ත්‍රීවරයාත් අතර ඇතිවූ වාර්තා පිහිටුවීමේ කතාවේදී විපක්ෂ නායකයා මුලසුන සමඟ ගැටුණේ ටිරාන් අලස් මහතාගේ කතාවට පිළිතුරක් දෙන්නට අවස්ථාව නොලැබුණ නිසාය.

මේ සිද්්ධිය ගැන පසුවදාම කරුණු පැහැදිලි කළ විපක්‍ෂ නායකවරයා පරිණත දේශපාලනඥයකු ලෙස හොඳ ගුණාංග ප්‍රදර්ශනය කරමින් කතානායකවරයාගෙන් සමාව ඉල්ලා සිටියේ ය. එමෙන්ම මුලසුනෙන් විපක්ෂ නායකවරයාට අසාධාරණයක් සිදු වී ඇත්දැයි පරීක්ෂා කරන බවට කතානායකවරයා පොරොන්දු විය. මෙවැනි සිද්ධීන් ව්‍යවස්ථාදායකය තුළ සිදුවිය යුතු මහත්මා ගතිගුණ ලෙස අපි හඳුනා ගනිමු.

මුද්‍රණ යන්ත්‍රය ගිනි ගැනීම

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වන ලංකා ලෝකය මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය ගිනි ගෙන විනාශ වී තිබේ. මෙම මුද්‍රණ යන්ත්‍රය දීර්ඝ කතාවක මූලාරම්භය වෙයි. මුද්‍රණාලය සවිකර තිබූ නිවසේ සිදු වූ විදුලිය කාන්දුවක් නිසා මෙය සිදු වී තිබේ. ගින්න දැක එය නිවා දමන විට හානිය සිදු වී හමාරය. ඉතිහාසයක් ඇති මෙවැනි මුද්‍රණ යන්ත්‍රයක් ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම එක්තරා අවාසනාවකි. එය ආරක්ෂා කරන්නට තමන්ට භාර දෙන ලෙස පුරාවිද්‍යා ප්‍රධානියා කර තිබූ ඉල්ලීමක් ද මුද්‍රණ යන්ත්‍රයේ භාරකරුවන් ප්‍රතික්ෂේප කර ඇත.

කෞතුකාගාරයේ ඇති වටිනා කෞතුක භාණ්ඩ ටික රැක ගන්නටත් බැරි අය මුද්‍රණ යන්ත්‍රයක් රැක ගන්නේ කෙසේ දැයි භාරකරුවන් සිතනවා දැයි නොදනිමු. කෙසේ හෝ දැන් සියල්ල සිදුවී හමාරය. දැනට ඉතිරි වී ඇති සුන්බුන් ටිකවත් රැක ගතහොත් එය ඉතිහාසගත පුංචි සිහිවටනයක් වනු ඇත.

අපරාධ වැළැක්වීම සහ සියදිවි නසා ගැනීම

රට තුළ අපරාධ වැඩි වී ඇති බවට ඇතැමුන් පළ කරන අදහස් ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කරයි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය යටතේ සිදු වූ බිහිසුණු අපරාධ නතර වූ පසු රට තුළ වෙනත් අපරාධ සිදුවන බවට පළකරන මත බැහැර කරන පොලිසිය කියන්නේ අපරාධවල ස්වරූපය දරුණු වී ඇති බවයි.

කෙසේ හෝ අපරාධකාරයන්ට දිය යුතු දඬුවම් වැඩිකළ යුතු බව නම් පෙනේ. අපරාධ කොට හිරේ විලංගුවේ වැටුණටත් පසුව හිරගෙයි ඉඳගෙනත් කරන්නේ අපරාධ බව පෙනේ. මිනීමරුවන්ට මරණ දඬුවම් දිය යුතු බවට සමාජයේ මතයක් ගොඩනැගෙන්නේ ද අපරාධ රැල්ලේ වර්ධනය නිසාය. මිනිසුන් මැරීම සහ සියදිවි නසා ගැනීම සම්බන්ධ වෙනස් අරමුණු තිබේ.

මෑතක සිදුවූ සියදිවි නසා ගැනීම හදවත කම්පා කරවන්නකි. මවත්, හත් හැවිරිදි පුතාත් ගේ තුළට වී ගිනි තබාගෙන දිවි හානි කරගත් පුවත හදවතට ඔරොත්තු දෙන්නක් නොවේ. තමන් සියදිවි නසා ගත්තත් තමන් ගේ පුතාද එයට සම්බන්ධ කර ගැනීම අදහා ගන්නටත් බැරි සිද්ධියකි.

මේ තරමට මවක් දරුණු වන්නේ ඇයි දැයි හිතා ගන්නටවත් බැරිය. ඇය දිවි නහ ගන්නට පෙර ලියා තැබූ ලිපිවලින් දක්වා ඇති හේතු සියදිවි නසා ගැනීමට තරම් හේතු සාධක නොවේ. කෙසේ වුවද සමාජය තුළ සිදුවන මෙවැනි අනුවේදනීය සිද්ධීන් ගැන සමාජයේ දැඩි අවධානය යොමු විය යුතු බව නම් නොකියාම බැරිය. මෙවැනි අපරාධ කෙසේ අඩු කරන්නේ ද යන්න විශාල ගැටලුවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා