චාවේස්ට සහාය පතා කැරකස් නගරයට මහා ජන ගඟක්

චාවේස්ට සහාය පතා කැරකස් නගරයට මහා ජන ගඟක්

කියුබාවේ පිළිකා ප්‍රතිකාර ලබමින් සිටින වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ගේ නව පදවි ප්‍රාප්ති දිවුරුම් උත්සවය යෙදී තිබුණු පෙරේදා ඔහු ඊට සහභාගි විය හැකි තත්ත්වයක පසු නොවුණ ද කැරකස් අගනගරයේ පැවැති මහා ජනරැලියකදී ජනතාව ඔහුට පුර්ණ පක්ෂපාතිත්වය දක්වන බව සපථ කළහ.

ජනතාවගේ මෙම සමූහ දිවුරුම් දීම උප ජනාධිපති නිකොලස් මදුරෝ විසින් මෙහෙය වන ලද අතර සිය ආදරණීය නායකයා වෙනුවෙන් ඔවුහු ජයගෝසා නඟමින් එම දිවුරුම ප්‍රතිරාවය කළහ.

'කොමාන්ඩෝවරයානනි, සුවපත් වන්න. මේ ජනතාව දිවුරුම් දී ඔබට ඇති පක්ෂපාතිත්වය පෙන්වා ඇති බැවින් සුවපත් වන්න. අප හැම එම පක්ෂපාතිත්වය පිළිබඳව සපථ කරමු. චාවේස් ඔබ දිගුකල් දිනේවා! "යැයි මදුරෝ කීවේය.

මේ සාමුහික දිවුරුම ජනතාවගෙන් ලබා ගැනීමට කලින්ම මදුරෝ ජනතාව ඇමැතීය.

එහිදි චාවේස් හා ඔහුගේ සමාජවාදී විප්ලවය ප්‍රසාදයට ලක් කළ ඔහු විපක්ෂය කුමන්ත්‍රණ කාරිත්වයකට අර අදින බවට චෝදනා කළේය. ජනජීවිතයේ මේ විශේෂ අවස්ථාව කෙලෙසන්නට මාන බලන විපක්ෂය සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේ රුසියාවේ නිෂ්පාදිත සුකෝයි ප්‍රහාරක යානා ගුවන සිසාරමින් සිටිනු දක්නට ලැබුණු අතර ජන රැලි භූමියම රක්ත වර්ණයෙන් බැබළී තිබිණ.

බොලීවියාවේ ජනාධිපත් ඊවෝ මොරාලස්,උරුගුවේ ජනාධිපති ජෝස් මුජිකා හා පැරගුවේ නෙරපන ලද නායක හර්නැන්ඩෝ ලුගෝ යන අය ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔබේ හදවත් තුළ සිටි මේ මිනිසා ජීවිත සටනක නියැළී සිටිනවා.

කෙසේනමුත් ඔහු හෙට දිනයේ තවදුරටත් දක්නට නොලැබුණත් සමගිය සාමය එලෙසින්ම පැවැතිය යුතුයි යනුවෙන් මුජිකා කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා