අසාද් රජය පෙරළු­‍ෙණාත් සිරියාවේ රසායනික අවි රැකගන්න අමෙරිකාව ක්‍රමයක් සොයයි

අසාද් රජය පෙරළු­‍ෙණාත් සිරියාවේ රසායනික අවි රැකගන්න අමෙරිකාව ක්‍රමයක් සොයයි

සිරියා ජනාධිපති බෂා අල් - අසාද්ගේ රජය පෙරළී ගියහොත්, එරට සතු රසායනික අවි ආයුධ සුරක්ෂිත කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අමෙරිකාවේ දැඩි අවධානය යොමු වී තිබේ.

කෙසේ වෙතත්, සිරියාවට ගොඩ බිම් හමුදාවක් යැවීමට අමෙරිකාව අපේක්ෂා නොකරන බව අමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි.

සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව රසායනික අවි පාවිච්චි නොකරන ලෙස අමෙරිකාව සිරියා රජයට දැඩි අනතුරු ඇඟවීම් කර තිබේ.

මෙහිලා ඇති වඩාත්ම වැදගත් සාධකය වන්නේ, අසාද් රජය බිඳ වැටුණහොත් මෙවැනි රසායනික අවි ආයුධ ඇති ස්ථාන ජාත්‍යන්තර ප්‍රජාව විසින් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි අවධධානය යොමු කිරීම බව පැනේටා වැඩිදුරටත් පවසයි. මෙය ජාත්‍යන්තරය ඉදිරියේ දැනට ඇති ප්‍රබලතම අභියෝගය බවත් ඔහු අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා රජය ඊශ්‍රායලය සහ එම කලාපයේ සෙසු රටවල් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු අනාවරණය කරයි.

සිරියා ජනාධිපති බෂා අල් අසාද් අවසාන තුරුම්පුවක් වශයෙන් කැරලිකාර හමුදාවන්ට එරෙහිව රසායනික අවි ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළහොත් එය වළකාලීමට නොහැකි වනු ඇතැයි ඉහළ පෙළේ අමෙරිකා හමුදා බලධාරියෙක් වන ජෙනරාල් මාටින් ඩෙම්සේ එම පුවත් සාකච්ඡාවේදී පවසා තිබේ.

රසායනික අවිආයුධ සුරක්ෂිත කරගැනීමට නම්, ඒවා ගබඩාකර ඇති ස්ථාන පිළිබඳව පූර්ව බුද්ධිමය තොරතුරු තිබීම අත්‍යාවශ්‍ය බව ද ඔහු අවධාරණය කරයි.

රසායනික අවි භාවිත නොකරන ලෙස ජනාධිපති ඔබාමා විසින් දැනටමත් කර ඇති අනතුරු ඇඟවීම අසාද් එවැනි ක්‍රියාමාර්ගයකට එළැඹීමට යම් සීමාවක් පනවා ඇතැයි ද ඔහු කියයි.

මේ අතර සිරියා රජය පවසන්නේ, තම රටේ ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතා නොකරන බවත්, විදේශ ආක්‍රමණයක් සිදු වුවහොත් ඊට එරෙහිව රසායනික අවි පාවිච්චි කීරීමට ඉඩ ඇති බවයි.

මේ අතර, අමෙරිකා සහ රුසියා බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ජගත් සංවිධාන - අරාබි ලීග සාම නියෝජිත ලක්දා බ්‍රහිමි පාර්ශ්ව භජනයෙන් යුතුව කටයුතු කරන බවට සිරියා රජය චෝදනා කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා