කෝටි 13ක් වියදම් කළත්; කහටගස්යාය මාර්ගයේ ප්‍රමිතියක් නැහැ

කෝටි 13ක් වියදම් කළත්; කහටගස්යාය මාර්ගයේ ප්‍රමිතියක් නැහැ

කහටගස්යාය මාර්ගයේ බෝක්කුව ඉදිරියෙන් පාර ගැලවී ගොස් ඇති අන්දම.ඡායාරූප – දිගාමඩුල්ල සංචාරක

මාර්ගය කැඩී ගොස් බෝක්කුව පුපුරා ගොස් ඇති අයුරු.

පාර කැඩිලා බෝක්කුව පුපුරලා

යුරෝපා සංගමයේ ආධාර ඇතිව උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උහන සිට කහටගස්යාය දක්වා ප්‍රතිසංස්කරණය කළ කිලෝමීටර් 12ක් වන මාර්ගයේ වලවල් හෑරී ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර බෝක්කුවක් කඩාගෙන යාම නිසා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.

රුපියල් කෝටි 13ක් වියදම් කරමින් ඉදිකරනු ලැබූ මේ මාර්ගයේ ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම සහ නිසි පරිදි කම්බි දමා නොමැති නිසා බෝක්කු වතුරට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්ව ඇතැයි කහටගස්යායේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානාධිපති බලංගොඩ මහින්ද හිමියෝ පවසති.

2009දී වැඩ ආරම්භ කර 2010 දී වැඩ අවසන් කළ මේ මාර්ගය මෙතරම් ඉක්මනට විනාශ වූයේ මේ ප්‍රමිතියකින් තොරව කළ ඉදිකිරීම් නිසා යැයි ද උන්වහන්සේ පවසති.

අම්පාර උහන හරහා කහටගස්යාය දක්වා පෞද්ගලික බස් රථයක් ධාවනය වුණා. එය කහටගස්යාය පන්සල ළඟටම ආවා.

පසුගිය 15 දා උදේ පාසල් සිසු සිසුවියන්ද 10 – 15 ක් සමග බස් රථය අම්පාරට යාමට ගමන් ආරම්භ කළ නමුත් දමා තිබුන බෝක්කුව කඩාගෙන බසය එම වළට වැටුණා. එම රියැදුරාගේ දක්‍ෂකම නිසා අනතුරක් වළක්වා ගත්තා.

බස් රථය බොහොම අපහසුවෙන් පාරට ගත්තා.

උහන ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ඒකනායක මහතා - යුරෝපීය ප්‍රජාවගේ ආධාර ඇතිව උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 55ක් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් කැඩී ඇති බෝක්කුව ප්‍ර‍්‍රතිසංස්කරණය කරන්න රුපියල් ලක්‍ෂ 20ක් පමණ වැය වෙනවා. එතරම් මුදලක් වැය කරන්න සභාවට හැකියාවක් නැහැ යයි සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා