පාකිස්තානයට අමෙරිකාවෙන් සම්බාධක පැනවීමේ අවදානමක්

ඉරාන-පාකිස්තාන ගෑස් නළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරැඹෙයි:

පාකිස්තානයට අමෙරිකාවෙන් සම්බාධක පැනවීමේ අවදානමක්

ඉරානයත් පාකිස්තානයත් අතර දිවෙන ඩොලර් බිලියන 7.5 ක ගෑස් නළ මාර්ග සැලැස්ම එපරිද්දෙන්ම ක්‍රියාත්මක වූවොත් අමෙරිකානු සම්බාධක පැනවීමේ අවදානමකට පාකිස්තානයට මුහුණ දෙන්නට වනු ඇතැයි ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නියුලන්ද් පෙරේදා ප්‍රකාශ කළාය.

ඉරාන පාකිස්තාන ගෑස් නළ මාර්ගයේ ඉරාන පාර්ශ්ව ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට පැමිණි පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සරදාරි( දකුණේ ) ඉරාන ජනාධිපති මහමුද් අහමදින්ජාඩ් සමග එකමුතුබවේ ජයග්‍රහණය විදහා දැක්වූ අයුරු.

"මේ ව්‍යාපෘතිය සැබවින්ම ක්‍රියාත්මක වන්නේ නම් ඉරාන සම්බාධක පනත පාකිස්තානය‍ කෙරේ පණ ගැන්වීම පිළිබඳව අපේ බරපතළ අවධානය යොමුව තිබෙනවා "යැයි ඇය පැවසූවාය. දිගු කලක් තිස්සේ ප්‍රමාද වි පවත්නා මේ ගෑස් නළ මාර්ගයේ ඉරාන පාර්ශ්වයේ ඉදිකිරීම් දෙරට අතර දේශසීමාවේදී ඉරාන ජනාධිපති මහමුද් අහමදින්ජාඩ් විසින් පසුගියදා උත්සවාකාරයෙන් අරඹන ලද්දේ පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි ගේ සහභාගිත්වයෙන් යුක්තවය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන වික්ටෝරියා නියුලන්ද් අතීතයේදී මෙයාකාරයෙන් මේ ගෑස් නළ මාර්ගය ක්‍රියාත්මක කරන බවට දහදොළොස් වතාවක් ප්‍රකාශ වී ඇති බැවින් සැබවින්ම සිදුවන්නේ කුමක්දැයි බලා සිටීමට සිදුව ඇතැයි කියා සිටියාය.

පාකිස්තානයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් හොඳ ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට අමෙරිකාව පාකිස්තානයට පූර්ණ සහාය ලබා දෙද්දී ඉරානය සමග කටයුතු කරමින් වැරදි දිසාවකට ‍යොමුව තිබෙන බව පෙනේ යැයිද ඇය කීවාය. 2013 අවසානයේ පාකිස්තාන විදුලිබල ජාලයට මෙගාවොට් 900 ක ශක්තියක් එක්කරන විශාල පරිමාණ බලශක්ති ව්‍යාපෘති මගින් අමෙරිකාව එරටට සහාය වෙමින් පවතින බව ද ඇය පැවසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා