ෆේස්බුක් සරණ යන කරවිල විපක්ෂය

ෆේස්බුක් සරණ යන කරවිල විපක්ෂය

ආණ්ඩුව පෙරළන්න නම් ඒ සඳහා කළ හැකි එකම දෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කිරීමයි. ඒ හැරෙන්න කිසිදු විකල්පයක් නැහැ” මෙසේ ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක බල ඇණියේ ක්‍රියාකාරිකයෙකු වන මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ කුරුඳු පොලු බල ඇණියේ සාමාජිකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතාය.

“මංගල සමරවීර මහතාගේ කටකතාවලින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක බලඇණිය තව තවත් ශක්තිමත් වෙනවා. ඒ කටකතාවලින් පුළුවන් ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය බිඳ වට්ටන්න. ඒ කාලේ මතක ඇති රණසිංහ ප්‍රේමදාස මහත්තයට එරෙහිව නිර්මාණය කරපු කටකතා. ඒ වගේ කටකතා හදන්න කටකතා හදපු හොඳම පුද්ගලයා ඉන්නේ අපිත් එක්ක. ඒක අපිට විශාල ශක්තියක්” යනුවෙන් යම්කිසි ආඩම්බර ලීලාවකින් ප්‍රසිද්ධියේ මෙසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.

සුදත් චන්ද්‍රසේකර, තිස්ස අත්තනායක යන මහත්වරුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ කුමක්ද, මේ මගින් ඉතා බරපතළ කරුණු රැසක් ගම්‍ය වන බව පැහැදිලිය. එක් පැත්තකින් එමඟින් පෙන්නුම් කෙරෙනුයේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ වත්මන් චින්තනයයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයාගේ චින්තනයයයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ චින්තනයයි. රටේ ප්‍රධ‍ානතම විරුද්ධ පක්ෂයේ චින්තනයයි. රටක ප්‍රධාන දේශපාලන පක්ෂයකට මෙම තත්ත්වයට පත් විය හැකිද? එම තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය පත්වී තිබෙන්නේ ඇයි? ඒ ගැන විවරණය කිරීම ඉතා කාලෝචිත වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් එම චින්තනය අනුව ක්‍රියා කළත් රටේ පොදු මහජනතාව පවා දැඩි ලෙස එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන බහුතරය ද එම චින්තනය පිළි නොගැනීමයි.

විකල්ප වැඩපිළිවෙළක්

මැතිවරණ ගණනාවකින් එක පිට එක පරාජය වුණු ප්‍රධාන දේශපාලන පක්ෂයක් කළ යුත්කේ කුමක්ද? තමන්ට වැරදුණේ කොතැනද? කියා සොයා බලා එයට පිළියම් කිරීම මිසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට මඩ ගැසීම නොවේ. ආණ්ඩුවට එරෙහිව අසත්‍ය මඩ ප්‍රචාර, කටකතා ප්‍රචාරය කිරීම නොවේ. ආණ්ඩුව සම්බන්ධයෙන් යම් විවේචන පවතිනවා නම් එම විවේචනවලට විකල්ප වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර එය විවෘත සංවාදයකට ලක් කිරීමයි. නමුත් සිදුවෙමින් පවතින්නේ වෙනත් දෙයකි.

අසත්‍ය චෝදනා එල්ල කරමින් මඩ ගසා, කටකතා ප්‍රචාරය කරමින් ආණ්ඩුවක් පෙරළීමට හැකි නම් එය‍ කෙතරම් ප්‍රායෝගික ක්‍රියාවක් දැයි සෙවීමට විපක්ෂයට වගකීමක් තිබේ. ඔවුන් එසේ සිතනවා නම් මෙරට ඡන්දදායකයින් මෝඩයින් පිරිසක් බව එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබිය යුතුයි. වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදයෙන් රට මුළුමනින්ම නිදහස් කරගැනීමට ක්‍රියා කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බවට කිසිදු විවාදයක් නැත.

ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය උපරිම වී ඇත්තේ මෙම කාරණය නිසාය. රට මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ මෙරටට නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. එය ඔහුගේ ප්‍රතිරූපය තව තවත් වර්ධනය වීමට විශාල බලපෑමක් එල්ල වූ කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම ප්‍රතිරූපය නැතිකිරීමට මෙම කාරණයේදී එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරනුයේ කෙසේද? මංගල සමරවීර, සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් මෙහිදී ක්‍රියා කරනුයේ කෙසේද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව කෙතරම් මඩ ප්‍රහාර, කෙතරම් කටකතා ප්‍රමාණයක් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටිනවාද? කියා පහසුවෙන් තේරුම් ගත හැකිය. මෙතරම් දීන තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය පත්වීම ගැන වෙනමම සලකා බැලිය යුතුව ඇත. අසත්‍ය චෝදනා එල්ල කිරීම, මඩ ප්‍රහාර එල්ල කිරීම, කටකතා ප්‍රචාරය කිරීම එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ ප්‍රධාන කාරණය වී ඇත. වෙබ් අඩවි ගණනාවක් හරහා ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ ඥාතීන්ට, ආණ්ඩුවේ ඇමැතිවරුන්ට, ආණ්ඩුවට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීම පටන්ගෙන ඇත්තේ මේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකාය විසිනි. ඉතාම පහත් ආකාරයෙන් අසත්‍ය චෝදනා ගොනුකරමින් මඩ ප්‍රහාර එල්ල කරමින් සිදුකරන මෙම ක්‍රියා ජනතාව ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යයි. මෙවැනි පහත් ක්‍රියාමාර්ගවලින් ජනමතය වෙනස් කර මැතිවරණවලින් ජයග්‍රහණ ලබාගන්නට බව එක්සත් ජාතික පක්ෂය සිතනවා නම් එතරම් මෝඩ සිතිවිල්ලක් තවත් තිබෙනවාද?

ෆේස් බුක්, ‍ට්විටර් සමාජ වෙබ් අඩවි මඟින් ද ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරීමේ කටයුතු ද මේ වන විට මංගල සමරවීර මන්ත්‍රීවරයා ප්‍රමුඛ සන්නිවේදන බළකාය මගින් ආරම්භ කර ඇත. මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් සිටින්නේ ද දැඩි කනගාටුවකිනි. මෙම පහත් ක්‍රියාව ඔවුන්වත් අනුමත කරන්නේ නැත. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සිතා සිටින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මෙම කටකතාවලින් පෙරළිය හැකි බවයි. සාමාන්‍යයෙන් කටකතා පතුරවන්නේ ඇතැම් කාන්තාවන් විසිනි. ගම්වල නම් කටකතා පැතිරවීමට දක්ෂ උපන් හපන් කාන්තාවෝ සිටිති. ජිප්සීස් සංගීත කණ්ඩාය‍මේ නායක සුනිල් පෙරේරා මහතා “ළිඳ ළඟ සංගමය” ගීතයෙන් කියන්නේ ද ගම්වල කටකතා පතුරවන කාන්තා බළකාය පිළිබඳය. එමනිසා මංගල සමරවීර මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකාය සඳහා ගම්වල ළිඳ ළඟ සංගමය නියෝජනය කරන කාන්තාවන් බඳවා ගත හැකි ය. සන්නිවේදන බළකාය සඳහා තවත් ඇබෑර්තු ඇති නම් ළිඳ ළඟ සංගම් නියෝජනය කරන කාන්තාවන් බඳවාගෙන සන්නිවේදන බළකාය ශක්තිමත් කර ගැනීමට මංගල සමරවීර මන්ත්‍රීවරයාට හැකිය.

වසර ගණනාවක් තිස්සේ රට පාලනය කරන ලද දේශපාලන පක්ෂයක්, අනාගතයේ යම් දවසක රටේ පාලන බලය ලබාගැනීමට සිටින දේශපාලන පක්ෂයක් මෙසේ ක්‍රියාකිරීම පොදු මහජනතාව තබා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්වත් අනුමත නොකරනු ඇති. ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ‍විවේචනය කිරීම සඳහා මඩ දේශපාලන සංස්කෘතිය තෝරාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය තීරණය කර එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීම කෙතරම් විහිළු සහගත ද?

එක්සත් ජාතික පක්ෂය මඩ, මජර දේශපාලන සංස්කෘතිය තෝරාගෙන ඇත්තේ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය එන්න එන්නම ශක්තිමත් වන්නේ ඇයි? මෙම කරුණු දෙක ගැන යම් විශ්ලේෂණයක යෙදෙන කෙනකුට එක්සත් ජාතික පක්ෂයම මෙම තත්ත්වයට පත්වීම ගැන තර්කානුකූලවම තේරුම් ගත හැකිය.

යම් කිසි දේශපාලන පක්ෂයක් මැතිවරණයකට තරඟ කරන්නේ නම් එම පක්ෂය රට හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි. ඈත අතීතයේ නම් දේශපාලන පක්ෂ ජනතාවට හිතෙන හිතෙන පොරොන්දු ලබා දුන් බව රහසක් නොවේ. “හ‍ඳෙන් හරි හාල් දෙනවා”, “ඇට අටේ කතාව” වැනි පොරොන්දු තවමත් ජනතාවට මතක තිබෙන්නේ ඇතැම් පොරොන්දු තවමත් ඉටු වී නොමැති නිසාය.

නමුත් එවැනි පොරොන්දු නොදී රටට, ජනතාවට අත්‍යවශ්‍ය වන වැඩ කොටසක් ඉටුකරන බවට දේශපාලන නායකයෙකු මෑත කාලයේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නම් ඒ මහින්ද රාජපක්ෂ මහතාය. 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “මහින්ද චින්තනය” හා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” එම වැඩසටහන්ය.

දරුණුතම ප්‍රශ්නය

මේ රටේ තිබුණ දරුණුතම ප්‍රශ්නය “මහින්ද චින්තනය” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අංක 1 ට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළත් කළේ ර‍ට හා පොදු මහජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන් ම එය ඉටුකරන බවට සපථ වෙමිනි. වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර රටට ගෞරවනීය සාමයක් ලබා දුන්නේ අංක 1 ට එම කාරණය ඇතුළත් කළ නිසාය. වසර 30 කට අධික කාලයක් තිස්සේ රට පාලනය කරන ලද රාජ්‍ය නායක නායිකාවන් රැසකට විසඳීමට නොහැකි වූ මෙම ත්‍රස්තවාදී ගැටලුව අභියෝග රැසක් මධ්‍යයේ තම ජීවිතයට පවා එල්ල වූ මරණීය තර්ජන, අභියෝග නොතකා ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය ලබා දුන්නේය.

වසර 30 කට අධික කාලයක් තිස්සේ මේ රට පෙළුණු මෙම ගැටලුවෙන් රට බේරාගැනීමට එක්සත් ජාතික පක්ෂය සිදු කළ සියලු සැලසුම් පරාජයට

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ගාමිණි දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ ‍තවත් ප්‍රබල නායකයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න යන මහත්වරුන් ඇතුළු නායකයින් රැසක් එක්සත් ජාතික පක්ෂයට වාගේම රටට අහිමි කළේ කොටි ත්‍රස්තවාදයයි. නමුත් කොටි ත්‍රස්තවාදය සමඟ යම්කිසි එකඟත්වයක් ඇතිකිරීමට මූලිකවම ක්‍රියා කළ නායකයෙකු වශයෙන් ඉතිහාස ගතවන්නේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණි.

2002 වසරේ පෙබරවාරි 22 වෙනිදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අතර සටන් විරාම ගිවිසුමකට අස්සන් තැබිණ. මෙම ක්‍රියාවලිය ජනතාවට සඟවා කළ ක්‍රියාවකි.

මේ පිළිබඳ එවකට පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂය විමසා සිටියත් එවකට සභානායක වශයෙන් සිටි වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා කියා සිටියේ කොටි සංවිධානය සමඟ කිසිදු ගිවිසුමක් අස්සන් කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව රටට ගෙනදුන් විනාශය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම සටන් විරාම ගිවිසුම බොහෝ දෙනෙකු හඳුන්වන්නේ අලි - කොටි ගිවිසුම යනුවෙනි. එක්සත් ජාතික පක්ෂයටත්, රනිල් වික්‍රමසිංහ මහතාටත් වැරදුනේ මෙම අලි - කොටි ගිවිසුමෙනි. අලි - කොටි ලේබලය ගලවා ගැනීමට තවමත් නොහැකි වී තිබීම එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම පරාජය වීමට ප්‍රධානතම හේතුව බව රනිල් වික්‍රමසිංහ මහතාට ද අමතක වී තිබේ.

අලි - කොටි රට පාවාදීමේ මහා ගිවිසුම යනුවෙන් මෙම ගිවිසුම හඳුන්වන්නේ ඊට පිළිතුරු ලබාදීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂ නායකයින් පමණක් නොව නායකත්ව මණ්ඩලය ද ගොළු වී සිටීම නිසාය. එමනිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවුණොත් ත්‍රස්තවාදයෙන් බේරාගත් රටට කුමක් වේද? යන සැකය බොහෝ දෙනෙකු තුළ පවතී. ඊට නිසි පිළිතුරක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට ද නොහැකි වී ඇත. ජනතාව තුළ එම විශ්වාසය ඇතිවනතුරු එක්සත් ජාතික පක්ෂයට ජනබලයක් ලබාදීමට ජනතාව කටයුතු කරාවිද යන සැකය මතුවීම වැළැක්විය නොහැක.

ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ ද එම පළිය ශ්‍රී ලංකාවෙන් ගැනීමට සහ යළි ඊළාම් සිහිනය සැබෑ කරගැනීම සඳහා බෙදුම්වාදී බලවේග, දෙමළ ඩයස්පෝරාව, කොටි හිතවාදීන් ලෝකය පුරා දඟලන දැඟලිල්ල අද හොඳ හැටි පෙනේ. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ද කරළියට නැ‍ඟෙන්නේ එම දැඟලිල්ලේ එක් පරිච්ඡේදයක් පමණි. ජිනීවා සමුළුව හරහා ශ්‍රී ලංකාවට සිදුකිරීමට යන බලපෑම සුළුපටු නොවේ.

ඇතැම් බටහිර රටවල් හා අධිරාජ්‍යවාදී බලවේග ද දෙමළ ඩයස්පෝරාව සමඟ අත්වැල් බැඳගෙන තිබේ. මෙවැනි බලපෑමක් සිදුවන අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් රට පාලනය කළේ නම් සිදුවෙන්නේ කුමක්ද? එක්සත් ජාතික පක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගතවී රට පාලනය කළේ නම් සිදුවෙන්නේ කුමක්ද? එවැනි අවස්ථාවක් ඇතිවුවහොත් මෙම පක්ෂ දෙමළ ඩයස්පෝරාවේ පදයට නටන්නේ නැති බවට සහතික විය හැකිද? ඒ ගැන ජනතාවට විශ්වාසයක් තිබෙනවාද?

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වනතුරු ඇඟිලි ගනිමින් සිටින්නේ මෙරට විරුද්ධ පක්ෂයයි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තර බලපෑම් මතින් එල්ල වන පීඩනයන්ගෙන් හෝ ආණ්ඩුවට බලපෑම් කර ආණ්ඩුව ගෙදර යවා තමන් බලයට පත්වීමටය. මෙතරම් නිහීන තත්ත්වයකට විපක්ෂය වැටී ඇත. ඊට හේතුව ආණ්ඩුවට එරෙහිව කිසිදු සාධාරණ සටන් පාඨයක් භාවිතා කිරීමට නොහැකි වන ආකාරයට වත්මන් ආණ්ඩුව ජනතා ගැටලු හඳුනාගෙන කටයුතු කරන නිසාය.

ත්‍රස්තවාදය යළිත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ හිස ෙනාඔස වන බවට මේ රටේ පොදු මහජනතාවට දැඩි විශ්වාසයක් තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ හෝ අනුර කුමාර දිසානායක මහත්වරුන් බලයට පැමිණියහොත් ඔවුන් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර බලපෑම්වලට හා දෙමළ ජයස්පෝරාවේ රූකඩ බවට පත්වන බව රටේ පොදු මහජනතාව ඉතා හොඳින් දනිති.

ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ අවසාන දිනවලදී රණවිරුවන් අතින් කිසිදු යුද අපරාධයක් සිදු වී නොමැති බව ප්‍රකාශ කරමින් පොදු ලියවිල්ලකට අත්සන් කිරීමට මෙරට විරුද්ධ පක්ෂයට නොහැකි වී ඇත්තේ ඇයි? රණවිරුවන් ත්‍රස්තවාද‍යෙන් මුළුමනින්ම මේ රට බේරාගත්තේ සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මිසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් පමණක් නොවේ. මේ යථාර්ථයවත් තේරුම් ගෙන එවැනි ලියවිල්ලක් අත්සන් කර ජිනීවා මානව හිමිකම් සමුළුවට යැවීමට රටට ආදරය කරන වගකිවයුතු විරුද්ධ පක්ෂයක් විදියට කටයුතු කිරීමට නොහැකි ඇයි? යන පැනය මතුකරන්නේ මේ රටේ පොදු මහජනතාවයි. එවැනි ලියවිල්ලකට අත්සන් කර ජාත්‍යන්තරයට යැව්වේ නම් ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ප්‍රබල බලපෑමක් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කිරීමට දෙමළ ඩයස්පෝරාවට නොහැකි වනු ඇත.

අසත්‍ය කතා

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඇති පදම් අසත්‍ය‍ තොරතුරු දෙමළ ඩයස්පෝරාවට, දෙමළ ජාතික සන්ධානයට හා ජාත්‍යන්තරයට ලබා දුන්නේ මේ රටේ විරුද්ධ පක්ෂය බව මතක තබාගත යුතුයි. එක් අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජිනීවා පටලැවිල්ල ආණ්ඩුව විසින්ම කරගත් එකක් බවයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ ජිනීවා සමුළුව ආණ්ඩුව විසින් ඉල්ලන් කන්නා එකක් බවයි.

රටේ විපක්ෂයේ වගකිවයුතු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන විට මෙවැනි දේශපාලන පක්ෂ රටට ආදරය නොකරන බව වටහාගැනීමට එතරම් අපහසු නැත. එම දේශපාලන පක්ෂවලට අවශ්‍ය කෙසේ හෝ වත්මන් ආණ්ඩුව පෙරළා ගැනීමටය. එහිදී මේ රට ජාත්‍යන්තර බලපෑම්වලින් අරාජික කරගැනීමට ද විරුද්ධ පක්ෂයට අවශ්‍ය වී තිබේ.

විරුද්ධ පක්ෂයේ මෙම න්‍යාය ඉතා හොඳින් දන්නා මෙරට අති බහුතරයක් පොදු මහජනයා රට අරාජික කිරීම සඳහා විරුද්ධ පක්ෂයට මේ රටේ පාලන බලය ලබා දීමට සූදානම් නැත.

විරුද්ධ පක්ෂයට සටන් පාඨ හෝ පොරොන්දු නැත. එමනිසා මඩ දේශපාලනය ඔවුන් තෝරාගෙන ඇත. කිසිදු ලැජ්ජා බයක් නොමැතිව තිස්ස අත්තනායක, සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්නේ ඒ නිසාය.

ආණ්ඩුව “ෆේස්බුක්” තහනම් කරන්න යන්නේ යනුවෙන් තවත් අසත්‍ය කතාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පතුරවමින් සිටී. අනුරාධපුර ප්‍රදේශයේ පවුලක් සතියක් එක දිගට කරවිල කෑ පුවත ප්‍රචාරය කරන්නේ ද විපක්ෂයයි.

ඉදිරියේදී තවත් කටකතා ඕනෑ තරම් ප්‍රචාරය කරන්නට පුළුවනි. ෆේස්බුක් සරණ යමින් ජනතාවට තිත්ත කරවිල වී තිබෙන මෙරට විරුද්ධ පක්ෂයට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මෙරට පොදු මහජනතාව තවත් මතක හිටින පාඩමක් උගන්වනු ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා