ඉ-නැණසල මධ්‍යස්ථාන දහසක් වසර නිමවීමට පෙර විවෘත කරන තීරණ

ගමේ දරුවන්ගේ තාක්ෂණ දැනුම නංවන්න

ඉ-නැණසල මධ්‍යස්ථාන දහසක් වසර නිමවීමට පෙර විවෘත කරන තීරණ

ගම්බද ප්‍රදේශවල පාසල් දරුවන් ඇතුළුව සියලු දෙනාගේම තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීමට මේ වසර නිමවීමට පෙර ඉ - නැණසල මධ්‍යස්ථාන දහසක් විවෘත කරන බව රජය ප්‍රකාශ කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැනට ඉ - නැණසල මධ්‍යස්ථාන 789ක් රටපුරා විවෘත කොට ඇත.

ඒ අනුව මේ වසර නිමවීමට පෙර තවත් මධ්‍යස්ථාන 211ක් විවෘත කිරීමේ ඉලක්කය ජයගත යුතුව ඇතැයි විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේය.

ගාල්ල අක්මීමන අංකොක්කාවල ශ්‍රී සුමංගල විහාරස්ථානයේ 789වැනි ඉ - නැණසල විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

වසර 2004 දී සියයට 4ක්ව පැවැති මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව මේ වනවිට සියයට 43 දක්වා ඉහළට පැමිණ තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ වසර 2005 දී ආරම්භ කළ ඉ - නැණසල මධ්‍යස්ථාන නිසා මෙය සිදුවිණි. වසර 2016 දී මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සියයට 75 මට්ටමට රැගෙන ඒම ඉලක්කය වී ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීමකට අනුව නව ඉ - නැණසල මධ්‍යස්ථානය අංකොක්කාවල ස්ථාපිත කැරිණි. රුහුනු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ. ධම්මින්ද නාහිමිගේ අප්‍රතිහත ධෛර්යය නිසා මේ මධ්‍යස්ථානය ගමට හිමි වූ අතර උන්වහන්සේගේ අනුශාසනා මත මේ තුළින් එම පළා‍ෙත් දරුවන්ගේ නව තාක්ෂණික දැනුම ඉදිරියට පුළුල් වනු ඇතැයිද රංජිත් සියඹලාපිටිය මහතා බලාපොරොත්තු පළ කෙළේය.

අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති අනිල් ප්‍රියදර්ශන ජාගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ගුරුවරු, මාපියෝ, දූ දරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා