යහ පාලනයේ මැදට වැටෙන බැරියර්

යහ පාලනයේ මැදට වැටෙන බැරියර්

එක අතෙකින් ඉතා යහපත් වූ වෙනස්කම් සිදුවෙමින් පවතී. තව අතෙකින් ප්‍රශ්නකාරී දේවල් ද සිදුවෙමින් පවතී. වරෙක යහ පාලනය ගැන ආශිර්වාද කළ හැකි අතර තව වරෙක යහ පාලනය ප්‍රශ්න කරන තැනකට අපි තල්ලු වී සිටිමු. ආශිර්වාද ලැබෙන දේවල් ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඒවා ජනමාධ්‍ය විසින් නැවත - නැවත වාර්තා කරනු ලැබේ. එහෙත් අවුල් සහගත හා ප්‍රශ්නකාරී සිදුවීම් සාකච්ඡාවට ගනු ලබන්නේ අඩුවෙන් ය. පසුගිය දා වත්තල දී ඇති වූ ගැටුම එක් නිදසුනකි. දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවේ ගැටුම තවත් නිදසුනකි. මේවා දේශපාලන භේදයකින් තොරව විමර්ශනය කළ යුතු ය. වාර්තා කළ යුතු ය.

වත්තල දී සිදු වී ඇත්තේ දේශපාලන ගැටුමකි. එහිදී පහරකෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ය. ඇමැති ජෝන් අමරතුංග මහතාට සුබපැතීමට හා ආශිර්වාද කිරීමට වත්තල දී උත්සවයක් පැවැති අතර එය නිමා වූ පසු පහරදීම සිදු වී ඇත. පිරිසක් ඉන් තුවාල ලැබූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ මතය වන්නේ මේ පහරදීම එජාපය විසින් සැලසුම් සහගත ව කරන ලද්දක් බව ය. ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියන ලෙස එය ශ්‍රීලනිප සාමාජිකයන් අතර සිදු වූ ගැටුමකි.

මෙහි ඇත්ත - නැත්ත හරියට ම කීමේ හැකියාවක් අපට නැත. පොලිසිය එය විමර්ශනය කළ යුතුය. ඊළඟට නීතිය ක්‍රියාත්මක විය යුතු ය. එහෙත් බැලූ බැල්මට පෙනෙන දෙයක් තිබේ. මේ උත්සවය සංවිධානය කරන්නට ඇත්තේ ජයග්‍රාහක කණ්ඩායම ය. කුල්මත් වී සිටින්නේ ද එම කණ්ඩායම ය. එවැනි කණ්ඩායමක් පරාජිත කණ්ඩායමකට පහර දීම, විරෝධය දැක්වීම අපේ දේශපාලන සම්ප්‍රදාය වේ. 1960 ගණන්වල සිට දිගින් - දිගට ම එබඳු දේ සිදුවිය. වාර්තාගත පළිගැනීම් සිදු වී ඇත්තේ 1977 මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ය. 2015 මෛත්‍රී පාලනය ගොඩ නැ‍ඟෙන්නේ මේ සියල්ලට එරෙහිව යහ පාලනයක් හා ශීලාචාර සමාජයක් ගොඩ නැඟීමට ය.

දේශපාලකයන්ගේ සිරිත වන්නේ තම ගෝල බාලයන් ගේ වැරැදි හමුවේ නිශ්ශබ්ද වීම ය. නැතහොත් මම එතැන සිටියේ නෑ කියමින් ඇඟ බේරා ගැනීම ය. යහ පාලනය හා ශීලාචාර සමාජය ගැන කතා කරන අයට එලෙස නිශ්ශබ්ද ව සිටිය නො හැකි ය. ඇඟ බේරාගෙන සිටින්නට පුළුවන්කමක් ඇත්තේ ද නැත. නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් කියා සිටියේ දේශපාලන පළිගැනීම්වලට කිසිදු ඉඩක් නො තබන බව ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අදහස පළ කර තිබිණි. නායකයන් කුමන අදහස් පළ කළ ද තැනින් - තැනින් දේශපාලන පළිගැනීම් හා පහරදීම් මතු වන බවක් පෙනෙන්නට තිබේ.

දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවේ ද දේශපාලන ගැටුමක් ඇති විය. සිද්ධියේ ඇතැම් රූපරාමු රූපවාහිනිය මඟින් විකාශය කැරිණි. ඇතැම් මන්ත්‍රීවරු මේස මත නැගගෙන අසභ්‍ය වචන කියමින් සභාපතිවරයාට පහරදීමට ගිය හ.

මේ දර්ශන පෙළ දකින අයකුට කල්පනා වනුයේ මොවුන් මහජන සේවකයන් ද නැතහොත් තිරිසනුන් ද යන්න ය. යහ පාලනයක් අවශ්‍ය නම්; මෙරට ප්‍රාදේශීය දේශපාලකයන් පක්ෂ භේදයකින් තොරව කණපිට පෙරැළිය යුතු ය. වැඩි දෙනකු ළඟ ශීලාචාරකම ගෑවිලාවත් නැත. අප මේ විවේචනය ගෙන එන්නේ දේශපාලන භේදයකින් තොරව කාගේත් යහපත උදෙසා ය.

මෛත්‍රී පාලනය ගොඩනැඟීම සඳහා අත්තිවාරම දැමූ මාදුළුවාවේ සෝභිත හිමියෝ පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වටිනා අදහස් ගණනාවක් ඉදිරිපත් කළහ. උන් වහන්සේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන කලකිරීමකින් සිටින බවක් ද පෙනෙන්නට තිබේ. දූෂිතයන්ගේ ලිපිගොනු අදාළ අංශවලට භාර දී ඇතත්; අපරාධකාරයන් අත්අඩංගුවට නොගන්නේ මන්දැ’යි උන්වහන්සේ ප්‍රශ්න කරති. ආණ්ඩුව උදාසීන යැයි ද උන්වහන්සේ කියති. තව ම ජරාජීර්ණ දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ යැයි කියන මාදුළුවාවේ හිමියෝ ඇතැම් ආයතනවල නිලධාරීන් පුටුවලින් එළවා දමා දේශපාලන හිතවතුන් ඒ පුටු මත තබන බව ද පෙන්වා දෙති. මේවා යහ පාලනයට අයත් දේවල් දැයි ප්‍රශ්න කළ යුතුව තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ රට පුරුදු වී ඇත්තේ ද පුහුණු වී ඇත්තේ ද ජරාජීර්ණ දේශපාලන ක්‍රමයකට ය. දේශපාලන පළිගැනීම්, බලහත්කාරකම්, චණ්ඩි පාට් ඒ ක්‍රමයේ පොදු ලක්ෂණ බවට පත් ව තිබේ. මජර දේශපාලන සංස්කෘතිය ලෙස එය හැඳින්විණි. මේ ක්‍රමය වෙනස් කළ යුතු යැයි හැඟීමක් බොහෝ කලකට පෙර පටන් සාධාරණ හා යුක්තිසහගත මිනිසුන් ළඟ තිබිණි. එහෙත් එය සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත් වූයේ 2015 ජනාධිපතිවරණයේ දී ය. මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ පළමු පුරවැසියා බවට පත්වන්නේ මේ දේශපාලන ව්‍යාපාරයේ පිහිටෙන් ය. එහි තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ර‍ටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි ප්‍රගතිශීලීන් එක මතවාදයක පිහිටීම ය.

මෙරට‍ දේශපාලනයේ කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනස සිදු වී අවසන් ය. එය ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස ද සැලැකිය හැකි ය. එහෙත් ජනතාවගේ අපේක්ෂා මල්ඵල ගැන්වෙන්නේ ලබාදුන් පොරොන්දු ඒ අයුරින් ම ඉටු කිරීම මඟින් ය.

යහ පාලනය උදෙසා දේශපාලන පළිගැනීම් නැවැත්විය යුතු ය. පහරදීම් හා බලහත්කාරකම් නැවැත්විය යුතු ය. වෙනත් මැතිවරණ සමඟ සසඳන විට පැවැති ජනාධිපතිවරණයේ පශ්චාද් ප්‍රචණ්ඩත්වය අඩුවන්නට පුළුවන. එහෙත් සිද්ධියකින් - දෙකකින් අපකීර්තිය පැතිරෙන්නට පුළුවන. කිරි කළයට ගොම බිංදුවක් දැමුවා සේ ය. මේ බව ජනාධිපතිවරයා, අගමැතිවරයා පමණක් නොව; රජයට සම්බන්ධ සියලු දෙනා ම දැන ගත යුතු ය.

අලුත් ආණ්ඩුව සති තුනක කාලය තුළ දී සිදු කළ ආර්ථික වෙනස රටේ සියලු ජනතාවට දැනෙන්නට පටන් ගෙන තිබේ. ජීවන බර අඩු කිරීම සඳහා ආණ්ඩුව වැදගත් පියවර ගණනාවක් ගෙන තිබේ. ඒවා ඉලක්කම් සෙල්ලම් ලෙස බැහැර කළ හැකි නො වේ. මේ ආර්ථික වෙනස සමඟ රටේ සංවර්ධනය ගැනත් කල්පනා කළ යුතු ය. කුඩු රජාලා අත්අඩංගුවට ගැනීම යහපත් ය. ඒ සමඟ කුඩුවලට සම්බන්ධ දේශපාලකයන් ද අත්අඩංගුවට ගත යුතු ය. දූෂණ වංචා හෙළිදරව් කිරීම යහපත් ය. ඒ සමඟ අපරාධකරුවන් ද හැකි විගස නීතිය හමුවට ගෙන ආ යුතුය. යහ පාලනය ගැන විශ්වාසයක් ඇති වන්නේ එවිට ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා