විදේශ රටවලින් ගෙනා ඇඟළුම් හොර පාරෙන් වෙළෙඳ පොළට

විදේශ රටවලින් ගෙනා ඇඟළුම් හොර පාරෙන් වෙළෙඳ පොළට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් සමාගම් දෙකක් විසින් විදේශ රටවලින් ආනයනය කළ ඇඟළුම් රෙදිපිළි සහ අමුද්‍රව්‍ය නීති විරෝධී ලෙස දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීම හේතුවෙන් රජයට හිමි වියයුතු රුපියල් මිලියන 352.32 ක බදු මුදලක් අහිමි වී ගොස් තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මේ සමාගම් දෙක ඉපලෝගම සහ කැකිරාවේ පිහිටා තිබෙන අතර විදේශ රටවලින් රෙදි සහ අමුද්‍රව්‍ය ආනයනය කොට නිමි භාණ්ඩ වශයෙන් විදේශ රටවලට අපනයනය කිරීම සඳහා බදු අයකිරීමකින් තොරව අවසර ලබාදී තිබෙන නමුත් ඔවුන් එම රෙදි සහ අමුද්‍රව්‍ය සෘජුවම දේශීය වෙළෙඳ පළට නිකුත්කර තිබෙන බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ප්‍රකාශ කරයි.

පසුගිය වසර තුනක කාලයේ දී මේ සමාගම් දෙකේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව කළ විමර්ශනයක දී මේ තොරතුරු අනාවරණය කරගත් බව සඳහන් කළ ඒ මහතා එම කාලයේ දී රෙදි කන්ටේනර් 319ක් සහ අනෙකුත් අමුද්‍රව්‍ය කන්ටේනර් 38 ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන බව ද සඳහන් කරයි. කෙසේ වුවද මේ සියල්ලේ වටිනාකම රුපියල් මිලියන 824.75 ක් බව පෙන්වා දෙන ලෙස්ලි ගාමිණී මහතා ඒ අනුව රෙදි කිලෝ ග්රෑම් මිලියන 2.5ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබෙන බව ද ඒවා දේශීය වෙළෙඳ පළට නිකුත් කිරීමෙන් මොවුන්ගෙන් අය වියයුතු බදු ගෙවීම පැහැර හැර තිබෙන බව ද කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව ද ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ප්‍රකාශ කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා