ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස්-දූෂණ කොමිසමට අද පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස්-දූෂණ කොමිසමට අද පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් භාරදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරයි. ඒ අනුව අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මැදිහත්වීමෙන් එම පැමිණිල්ල භාරදීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ සිදුකළ ගනුදෙනු වලදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධව මේ පැමිණිල්ල මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු ඉදිරිපත් කරනු ලබයි. එයින් ඇතැම් ගනුදෙනු පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ඒවා බව වාර්තා වේ.

කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොණු අස්ථානගත කිරීම වලක්වාලන ලෙස ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා වෙත පසුගියදා ලිපියක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලීමක්ද කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගනු-දෙනු සම්බන්ධව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේද සාකච්ඡාවු බවත්, ඒවාට වගකිවයුත්තන් ගනු-දෙනු වලට අදාළ ලේඛණ හොර රහසේ ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කිරීමට සුදානම්වන බවට තමාවෙත තොරතුරු ලැබී ඇතැයි එම ලිපිය මගින් හඳුන්නෙත්ති මහතා දැනුම් දී තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට ද කටයුතු යෙදා ඇත. ඉදිරියේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන හෙයින් ඒ සඳහා ප්‍රමුඛතාවදී කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරෙනු ඇතැයි පැවැසේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ගනු-දෙනු හා පරිපාලනය විධිමත් කිරීමට උපදෙස් මාලාවක් ද ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් නිලධාරීන්ට ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනු-දෙනු පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා ඇමැතිවරයා ද වෙනමම විශේෂ කමිටුවක් නම් කිරීමටද බලාපොරොත්තු වේ. එම කමිටු වාර්තාව කඩිනමින් ලබාගෙන අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා කලින් පවසා තිබුණි. ක්‍රිකට් ආයතනයේ ගනු-දෙනු පිළිබඳ සොයා බලන කමිටුව අද හෝ හෙට නම් කිරීමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා