එන්ජිම පණ ගන්වන ගල් අඟුරු මිටිය

එන්ජිම පණ ගන්වන ගල් අඟුරු මිටිය

වත්මන් ආණ්ඩුවේ අතුරු අය - වැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ජනතාව බලා සිටි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුවීම වෙනුවට භාණ්ඩ 13කම මිල පහත හෙළීමට මේ අතුරු අය වැය මඟින් කටයුතු කර තිබීම බොහෝ දෙනාගේ පැසැසුමට ලක්විය. හිස් කුස් පුරවන ජන මන සනහන අය-වැය සහන මල්ල මෙලෙස දිග හැරියේ ඉතිහාසයේ අලුත් පිටුවක් ද පෙරළමිනි. සීනි, කිරිපිටි, සස්ටජන්, තිරිඟුපිටි, පාන්, මුං ඇට, මාළු ටින්. කොත්තමල්ලි, හාල් මැස්සන්, උම්බලකඩ, මිරිස් සහ කහ වලට පනවා තිබූ බදු අඩුකිරීමත් සමඟින් පැහැදිලි ලෙසම අය වැය මඟින් ජනතාවට සුවිසල් සහන මල්ලක් ලබා දී තිබීම සතුටුදායක තත්ත්වයකි. එමතුදු නොව ජනතාව පිට පටවා තිබූ අධික බදු බරින් නිදහස් කෙරුණු මේ අතුරු අය වැයෙන් ඉතිහාසයේ පළමු වරට ධනපති පන්තිය වෙත බදු බර පටවා නැති බැරි මිනිසුන් පෝෂණය කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති සැටියකි.

භූමිතෙල් මිල තවදුරටත් රුපියල් 6කින් පහත දැමීමටත් ගෑස් මිල රුපියල් 300කින් පහත හෙළීමටත් කටයුතු කර කුස්සියේ අ‍ඳෝනාවට තිත තබා ගෘහනියගේ චීත්ත පොටත් පෙඟී ගිය කඳුළුවලට සැබෑ සාධාරණයක් ඉටුකර තිබීම ද පැසසුම් සහගතය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10,000කින් වැඩිවීමත් පෙබරවාරි මස සිට 5000ක්ද ඉතිරි 5000 ජුනි මස සිට වැටුපට එක් කිරීමෙන් ඉතිහාසයේ විශාලතම වැටුප් වර්ධකය මෙවර අය වැයෙන් ලබා දී තිබේ. මීට සාපේක්ෂව පෞද්ගලික අංශයේද වැටුප් වැඩි වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය. වැය කරන ශ්‍රමයට වටිනාකමක් කලකට පස්සේ ලැබී ඇති සැටියකි. සැබවින්ම මෙය වැඩ කරන ජනතාවගේ ජීවිත ගොඩදාන්න හදපු අය වැයක් ලෙස අර්ථකථනය කළ හොත් එහි වරදක් නොවනු ඇත.

රීලෝඩ් බද්ද 25%කින් අඩු කිරීම සහ විවාහ ලියාපදිංචි ගාස්තුව 1000 දක්වා අඩු කිරීමෙන් තරුණ ප්‍රජාවගේ හිත් සතුටු කරන්නත් ආණ්ඩුව වගබලාගත් සැටියකි. මේ සියල්ල දෙස බලද්දී පැහැදිලි වන්නේ ගමේ ගොඩේත් මහ නගරේත් කොයිකාටත් වෙනදාට වඩා නැති සතුටකින් සහ සැහැල්ලුවකින් මේ අය වැය කෙරේ විශ්වාස තබා ගතහැකි බවකි. මේ අය වැය නංගී පෙන්වා අක්කාදීමේ න්‍යාය අනුගමනය කළ එකක් යැයි කිසිවකුට පැවැසීමට ද නොහැකිය. ජනතාව ජීවත් කරවීමේ වගකීමට ආණ්ඩුව මෙවර බෑ නොකියා කර ගසා ඇතිසැටියකි. මෙය සැබවින්ම යහපත් ප්‍රවණතාවකි.

ආණ්ඩු පක්ෂයේ පිරිස් සේම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුද මේ අය වැය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර හැමදාම බකට් අදින පිරිස සුපුරුදු පරිදි තම විරෝධය එල්ල කිරීම නැවතුවේ ද නැත. සාධාරණ හේතුමත විවේචනය කිරීම සැබවින්ම සාධාරණය. එහෙත් දේශපාලන අරමුණු ජයගැනීමේ පහත් චේතනාවෙන් කිරි කලයට ගොම බින්දු එකතු කරන්න දඟලනවා නම් එයද අනුමත කළ නොහැකිය.

කලකට පසු ජනතාවට බොක්කට දැනෙන වෙනසක් කළ මේ අය වැය දින 100න් පසු උදාවන මැතිවරණය ඉලක්ක කරගෙන පමණක් සැකසුණු අය වැයක් නොවේවායි අප ප්‍රාර්ථනා කරන්නේද එබැවිනි.

එසේම මේ අය වැයෙන් දෙන සහන පාරිභෝගිකයා වෙත හරිහැටි ලැබේදැයි කියාද පසුවිපරමක් කළ යුතුය. වාසි ගන්න දන්න ව්‍යාපාරිකයා දෙන්න නම් ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැත. පාරිභෝගික අධිකාරියට මේ සඳහා විශාල වැඩකොටසක් පැවරෙන අතර මේ සහන සැබෑ ලෙසම ජනතාව අතරට යනවා දැයි සොයා බැලීමද එකසේ වැදගත් කටයුත්තකි.

රජගමනක ගිය පසුගිය ආණ්ඩුව සිදු කළ නාස්තිය දූෂණය නතර කිරීමෙන් මහ ජනතාවට මෙලෙස සහන රැසක් ලබාදීමට හැකි වී තිබෙන බව පෙන්වා දුන්නේ මුදල් ඇමැතිවරයාය. පසුගිය රජය ගිය ඒ රජ ගමනේ සැබෑ තතු එකිනෙක දැන් දිගහැරෙමින් තිබේ. අධික බදු බරක් ජනතාවගේ හිසමත පටවා වැසිකිළි පවා A/C කරගෙන සුඛවිහරණය ලැබූ ඒ ඇත්තෝ කළ ජනතා මුදල් නාස්තිය නතර කිරීමට හැකිවීම නම් ලාංකේය පුරවැසියා ලැබූ සැබෑ ජයග්‍රහණයකි.

අවවාදයට වඩා ආදර්ශය උතුම්ය කියමන සනාථ කරමින් ජනපතිගේ වියදම කප්පාදු කිරීමෙන්ම නාස්තිය අවම කිරීමේ වැඩපිළිවෙළ රටේ පළමු පුරවැසියාගෙන් ආරම්භ කිරීම සැබවින්ම සතුටුදායක තත්ත්වයකි. පසුගිය දෙමසේ දී රට වටේ තිබෙන ජනපති මන්දිරවල කෑම සඳහා පමණක් වියදම් කර තිබූ රුපියල් මිලියන 150ක මුදල් ප්‍රමාණය පිළිබඳවද ජනපති මෛත්‍රී පසුගියදා හෙළි කළ අතර රජගෙදර නාස්තියේ තරම කෙතෙක් දැයි එතැනින්ම ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. කෑමට එපමණ මුදලක් වැය කළා නම් අනෙක් ඒවා ගැන කවර කතාදැයි පුද්ගලයකුට සිතී යෑම ද සාධාරණ ය.

එසේම ජනපති වියදම ලෙස මහා භාණ්ඩාගාරයේ වෙන්කර තිබූ රුපියල් කෝටි දස දහසක මුදලින් රුපියල් කෝටි නවදහස් අටසියයකට ආසන්න ප්‍රමාණයක් ජනතා සුබසිද්ධිය උදෙසා වැය කිරීමට ජනපතිවරයා උපදෙස් ලබාදීමද සැබවින්ම උතුම් කටයුත්තකි. රටේ නායකයා පාලකයකු නොව සැබෑ නියමුවකු විය යුතු යැයි අප අදහන්නේද එබැවිනි. රටත් මුහුදේ ගමන් කරන නැවක් හා සමානය. එය මෙහෙයවන නියමුවා සැබෑ අවධානයෙන් නොසිටියොත් කා බී ජොලිකර සෙස්සන්ගේ උපදෙස් නොතකා ගමන් කළොත් වන්නේ දිශාව සොයා ගැනීමට නොහැකිව මුහුදේ නන්නත්තාර වීමටය. කොයි මොහොතේ හෝ අයිස් පර්වතයක හැපී නැව සුන්බුන් ගොඩක් වීමටද බැරි නැත. මුහුදු කොල්ලකාරයන්ගෙන් ද පරිස්සම් විය යුතුය. එනිසා සැමවිටම නැවේ නියමුවා අනෙකන්ට ආදර්ශයක් වී සිහිබුද්ධියෙන් සිටිය යුතුමය.

නැවේ ගමන දැන් ආරම්භ වී ඇත. අතුරු අය වැය ඒ ගමන ඇරඹීමට බොයිලේරුවට දැමූ පළමු ගල් අඟුරු පොදිය හා සමානය. ඒ ගල් අඟුරු දැන් කිටි කිටියේ රත්වෙමින් නැවේ ගමනට පළමු ජීවය ලබා දී ඇති සැටියකි. මහ සයුරේ අයිස් කඳු ද එමට ය. ඒ බව සිහි තබාගෙන සිහිකල්පනාවෙන් අවසන් ඉලක්කය කරා දැන් නැව මෙහෙයවිය යුතු කාලය එළඹ තිබේ. අඳුරේ නොව මහ දවාලේ ආලෝකය මැද්දේ යන ගමනක් බැවින් එය එතරම් අපහසුවන එකක්ද නැතැයි අපගේ විශ්වාසයයි. නමුත් ඒ ගමන දින සියයක ගමනක්ද නොවිය යුතුය. මේ පුංචි නෞකාව සෞභාග්‍යයේ දේශය කරා යාත්‍රා කිරීමට කටයුතු කළහොත් මගීහු සැවොම සැනසුම් සුසුම් හෙළනු නොඅනුමානය. ජනපති මෛත්‍රී නැවක නියමුවකු ලෙස අප දකින්නේද එනිසාය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා