පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ඉහළ කොත්මලේ ජලාශයට පනී

 තලවකැලේ බාබුල් ළඟ තබාගෙන සිටිය දී අසු වී

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ඉහළ කොත්මලේ ජලාශයට පනී

සිරුර ඊයේ සවස සොයාගනී

බාබුල් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන තරුණයකු අත්අඩංගුවට ගෙන තලවාකැලේ පොලිසිය වෙත රැගෙන යමින් සිටියදී සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇත.

ජලාශයට පනින ලද තරුණයා දියේ ගිලී අතුරුදන්ව ඇති අතර නාවික හමුදා නිලධාරීන්ගේද සහාය ලබාගනිමින් ජලාශය ආශ්‍රිතව සොයා බලද්දී සිරුර ඊයේ සවස හමු වී ඇත.

ඉකුත් 31 දා පස්වරු 2.00ට පමණ මේ තරුණයා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ජලාශයට පැන තිබේ.

ජලාශයේ ගිලී මිය ගොස් ඇත්තේ තලවාකැලේ ගල්කන්ද වත්තේ පදිංචි මාරිමුත්තු මනෝජ් නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසියට එරෙහිව තලවාකැලේ පූඬළුඔය මාර්ගය අවහිර කැරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයකද නිරත වූහ.

උද්ඝෝෂකයින් අතරට පැමිණි නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතා පැවැසුවේ සිද්ධිය පිළිබඳ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිසියට මාරුකර යවා ඇත. මේවනවිට තලවකැලේ ප්‍රදේශයට වි‍ශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා