කටාර් හි රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාව මරුට

කටාර් හි රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාව මරුට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වන රද්දොලුගම අමේන්ද්‍රා ඩී. කුවේ මෙනවිය (21) කටාර් රාජ්‍යයේ දෝහා හි සිදු වූ රිය අනතුරකින් මිය ගොස් ඇත.

පෙරේදා (30) දිනයේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙහිදී තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයන් මේ වනවිට ප්‍රථිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

දෝහා කටාර් රාජ්‍යයේ විවේකයේ සිටියදී පිරිසක් සමග විනෝදවීමට දෝහා කාන්තාරයේ සෆාරි ගමනක් යමින් සිටියදී අනතුරට ලක්වී ඇත. ඔවුන් ගමන් කර ඇත්තේ ජීප් රථයක වන අතර එහි සිද්ධිය අවස්ථාවේ හය දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

මේ පිරිස සිකුරාදා රාත්‍රීයේ යළි දෝහා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බව වාර්ථා වෙයි.

සිද්ධියෙන් තුවාල ලද අනෙක් ගුවන් සේවිකාව මීට මාස කිහිපයකට පෙර හෝකන්දර ප්‍රදේශයේදී කඩා වැටුණ ඇන්ටනොව් යානයේ මියගිය ගුවන් නියමු වසන්ත මහතාගේ වැන්දඹු බිරියයි.

මේ වන විට ගුවන් සමාගම විසින් මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අභාවප්‍රාප්තවූ කාර්ය මණ්ඩල සාමාජිකාවගේ දේහය කඩිනමින් මෙරටට ගෙන ඒමට සියලු උත්සහයන් යොදා ඇති අතර මෙම අනතුර සම්බන්ධව සම්පූර්ණ විමසුමක් කර වාර්තාවක් ලබා ගැනීමට ගුවන් සමාගම කටයුතු කර ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා