පීඩාවට පත් ශ්‍රීලනිප පාක්ෂිකයන්ට සහන දෙන්න

පීඩාවට පත් ශ්‍රීලනිප පාක්ෂිකයන්ට සහන දෙන්න

විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු තාඩන පීඩනවලට ලක්වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට වන්දි ලබාදීමට රජය වැඩපිළිවළක් ක්‍රියාත්මක කළයුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

මැතිවරණ ජයග්‍රහණ උන්මාදයෙන් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයට විරුද්ධව රජය වහාම පියවර ගතයුතු බව සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

දිවයිනේ විවිධ පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් විශාල පිරිසක් තාඩන පීඩන වලට ලක්ව විශාල වශයෙන් ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපළවලට හානි සිදුවී ඇති බව හෙතෙම කිවේය

නාවලපිටිය ආසනයේ කුරුන්දවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වූ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේ සිරිපාල ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කෙළේය.

1994 වසරේ සිට පසුගිය ජනාධිපතිවරණය දක්වා සියලු මැතිවරණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ බවත් කිසිම එක්සත් ජාතිකපක්ෂ පාක්ෂිකයකුට හෝ වෙනයම් පාක්ෂිකයකුට තාඩන පීඩනවලට ලක් නොකළ බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන නායකයන් රැසක් විවිධ බොරු චෝදනාවලට ලක්කරමින් බන්ධනාගාර ගතකර තිබෙන බව පැවැසු විපක්ෂ නායකවරයා මෙය යහපාලනයේ තවත් එක් වැඩපිළිවෙලක් දැයි තමන් රජයෙන් ප්‍රශ්න කරන බව පැවැසීය.

විපක්ෂ නායකවරයා මෙසේද කියා සිටියේය.

තවමත් ගම්වල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතිනවා. අහිංසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් බියවද්දනවා. මේ පිළිබඳව අභ්‍යන්තර ආරක්ෂක ඇමැතිවරයා සොයා බැලිය යුතුයි,වගකිය යුතුයි. ඔවුන්ට සාධාරණයක් වියයුතුයි. ළඟදීම මෙම ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමෙන්තුව දැනුවත් කිරීමට කටයුතු කරනවා.

යහපාලනයක් ගෙනයන රජයක් ලෙස මෙම ප්‍රචණ්ඩත්වයට ලක්වූ ජනතාවට දේපළ අලාභානිවලට වන්දි ගෙවිය යුතුයි. ඔවුන්ට සාධාරණයක් සිදුවිය යුතුයි . මොකද යහපාලනයක් තුළ ඕනෑම ශ්‍රිලංකාවේ පුරවැසියෙකුටම විවිධ දේශපාලන අදහස් දැරීමට අයිතිය ලැබිය යුතුයි, ඔවුන්ට නිදහසේ දේශපාලන පක්ෂවලට ක්‍රියාකාරි ලෙස සහභාගී වීමට ඉඩ ලබා දිය යුතුයි. මේ වනවිට දිවයිනේ සිදුවූ සියලු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතිනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා