අතිගරු-උතුමානණි-ආර්යාව ආමන්ත්‍රණ එපා

අතිගරු-උතුමානණි-ආර්යාව ආමන්ත්‍රණ එපා

- ජනපති ‘මෛත්‍රී පිළිසඳර’ හමුවේදී කියයි

මෙතෙක් කාලයක් ජනාධිපතිවරුන් ඇමතීම‍ට යොදා ගත් අතිගරු ,උතුමාණන් ,යන නාමයනුත් ජනාධිපති බිරිය ඇමතීම සඳහා යොදා ගත් ආර්යාව යන නාමයත් තමා සහ තම බිරිය සම්බන්ධයෙන් කෙරෙන සඳහන් කිරීමට යොදා නොගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (31)රාත්‍රි ජාතික සහ ස්වාධීන රූපවාහිනී ඔස්සේ විකාශනය වූ "මෛත්‍රී පිළිසඳර" සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ සාකච්ඡාව (video)

ජනාධිපතිවරයා සහභාගිවන උත්සව සඳහා පාසල් දරුවන් සහභාගි කර වීම වහාම නතර කරන බව කී ජනාධිපතිවරයා පසුගිය කාලයේ පැවැති රාජ්‍ය උත්සවවලට සහභාගි වූ පාසල් දරුවන් මුහුණ දීමට සිදු වූ හිරිහැර තමා හොදින් දන්නා බවත් අව්වේ වේලෙමින් ,වැසිකිලි පහසුකම් නොමැතිව විශේෂයෙන් ගැහැණු දරුවන්ට දැඩි අසීරුතාවයට පත් වූ බවත් අවධාරණය කළේය.

දුප්පත් ගොවි පවුලකින් පැවැත ‍එන තමා මහජන ධනය අතිවිශාල ලෙස නාස්ති කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන බවද අනුරාධපුරය ,නුවර ,නුවරඑළිය ,මහියංගනය ආදී ප්‍රදේශ ගණනාවක ස්ථාපිත කර ඇති ජනාධිපති මන්දිර ඵලදායි කටයුත්තක් සඳහා යොදා ගන්නා බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය වූ "මෛත්‍රී පිළිසඳර" සජීව සාකච්ඡාවට එක් වෙමිණි.

හිටපු ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත ඒ මහතාගේ පෞද්ගලික භාවිතය සඳහා ලබන මස‍ මෙරටට ගෙන ඒමට නියමිතව තිබු රුපියල් මිලියන 2080ක් වටිනා අධි සුඛෝපභෝගි ගුවන් යානය ගෙන්වීම අත්හිටවු බව ජනාධිපතිවරයා කීවේය.

ඒ වෙනුවට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එයාබස් සඳහා අවශ්‍ය අමතර කොටස් මිලදී ගනීමට තීන්දු කළ බවත් රටේ ධනය කාබාසිනියා කළ හෙළිකොප්ටර් යානා සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන බවත් අත්‍යවශ්‍ය නිල කටයුත්තකදී හැර තමන් හෙළිකොප්ටර් යානා භාවිතා නොකරන බවත් තම පවුලේ උදවිය ගමන් බිමන් යෑමට හෙළිකොප්ටර යානා භාවිතා නොකරණ බව තමා වගකීමෙන් පවසන බවත් අවධාරණය කළේය.

ඇතැමෙක් චෝදනා කරන අයුරින් තම ජයග්‍රහණය පිටුපස රටේ බහුතර ජනතාව නොසිටි බව ව්‍යාජ මතයක් බව කී ජනාධිපතිවරයා මහරගම ,හෝමාගම,කඩුවෙල ,කැලණිය ආදී මැතිවරණ කොට්ඨාසවල පසුගිය 2005 ,2010 සහ 2015 වසරවල පැවැති ජනාධිපතිවරණවලදී ඡන්ද භාවිතා කළ ආකාරය විග්‍රහ කරමින් තම විරුද්ධ අපේක්ෂකයාගේ ඡන්ද පදනම දරුණු ලෙස බිඳ වැටී තිබූ අයුරු විස්තර කළේය.

තම ජයග්‍රහණයට රටේ සියලු ජනකොටස්වල සහයෝගයක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා යහපාලනය ,ප්‍රජාතන්ත්‍රවාදය ,සහ ශීලාචාර රාජ්‍යක් නිර්මාණය කීරීමට ඉදිරිපත් කළ මතයට ජනතාව ඡන්දය ලබා දුන් බවද විවිධ බඩු බෙදමින් අල්ලස් දෙමින් ධන බලය මැර බලය මිලිටරි බලය යොදා ගනිමින් ප්‍රතිපාර්ශවය ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරයට වඩා තම වැඩපිළිවෙළ ජනතා මෙහෙයුමක් වූ බවද පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමා අතට පත්වීම ආණ්ඩුවෙත් රාජයේත් ජයග්‍රහණයක් බව කී ජනපතිවරයා දින සියයේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය රජයට ලබා ගත යුතුව තිබු බවත් බහුතර බලය හිමි කර ගැනීමට ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධනයේ සහයෝගය රජයට ලබාගත යුතුව තිබූ බවත් එහෙයින් තමා ශ්‍රීලනිප නායකත්වය ලබාත් බවත් කීය. කලාව සංස්කෘතිය රසාස්වාදය සඳහන් කළ ජනපතිවරයා මව්සෙනෙහස මාතෘ සෙනෙහස පිළිබඳ අතීත මතකයන් ආවර්ජනය කළේ ඒ පිළිබඳ ලියවුණු තම සිත් ගත් ගීත සඳහන් කරමිණි.

වික්ටර් රත්නායක ශූරීන් ගායනා කළ "ආදරයේ උල්පත වූ අම්මා "ගීතය ඒ මහතාගේ ඉල්ලීමකට අනුව වැඩසටහන අතරතුරදී විකාශනය විය. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත ඥාණය, ගායන හැකියාව භාෂා ඥාණය පිළිබඳව විශේෂ ඇගයීමක් කළ ජනපතිතුමා පණ්ඩිත් අමරදේවයන් සිය පොළොන්නරුව ගම්බිම් ප්‍රදේශයට පැමිණි අවස්ථා පිළිබඳවද ආවර්ජනය කළේය. පණ්ඩිත් අමරදේවයන්ගේ "රත්නදීප ජන්ම භූමි ගීතය" තමා බෙහෙවින් ඇලුම් කරන බවද කීවේය.

ජනවාරි නමය සිකුරාදා පස්වරු හයයි තිහට ජ්‍යෙෂ්ඨ විනිසුරු ශ්‍රී පවන් ඉදිරියේ තමා අභිනව ජනපති ධුරයේ දිවුරුම් දුන් බවත් දහසය සිකුරාදා දින පස්වරු හයයි තිහට ශ්‍රීලනීප සභාපති ධුරයට පත්වූ බවත් තිස්වන සිකුරාදා පස්වරු හයයි තිහට ජ්‍යෙෂ්ඨ විනිසුරු ශ්‍රී පවන් මහතා තමන් ඉදිරියේ අභිනව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දීමත් දෛවය හෝ ඉරණම නොවන බව පැවසූ ජනපතිවරයා එය දේශපාලන ක්‍රියාවලියක අදියරක් බවත් එය නියම දේශපාලන ආශ්චර්යක් බවත් සඳහන් කළේය.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යාණුකුලව සිදුනොවුවත් බවත් සඳහන් කළ ඒ මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය නිසි ලෙස පිහිටවා තිබෙන බව අවධාරණය කළේය.

දුෂිතයන් රාජ්‍ය දේපළ ගසා කෑ පුද්ගලයන් නීතිය කඩා බිඳ දැමුවන් හට කිසිදු සමාවක් අත්නොවන බව අනාවරණය කළ ජනාධිපතිවරයා තරාතිරම උස්පහත් භේද දේශපාලන භේද නොසලකා වරදකරුවන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අනාවරණය කළේය.

ජනාධිපතිවරයාගේ උපන්දිනයට හා පවුලේ උදවියගේ උපන්දිනවලට හා ‍අනෙකුත් අවස්ථාවන්වලට සුබ පතමින් රජයේ වියදමින් දැන්වීම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රචාරය කිරීම නවතන ලෙස ඉල්ලීමක් කළ ජනපතිවරයා තම රුව සහිත දැවැන්ත කටවුට් විද්‍යුත් පුවරු ආදිය මංමාවත් දෙපස සහ නගරවල ප්‍රචාරය නොකරන ලෙසද ඉල්ලා සිටියේය.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා