මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්නේ නැහැ

මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්නේ නැහැ

මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවැසූහ.

එජාප රජයන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන බවට ව්‍යාජ මත ජනතාව තුළ ගොඩනඟන්නට පසුගිය රජය ක්‍රියා කළ බවත් එය මුළුමනින් අසත්‍යයක් බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන බවත් ඒ මහතා කීය.

රාජ්‍ය ආයතනවල පරිපාලනය විධිමත් කැර එම ආයතන සුරක්ෂිත කරන බව ද හෙතෙම පැවැසුවේය.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන චෝදනාව එජාපයට අතීතයේ පටන් එල්ල වූ බවත් එය දැන් නිවැරදි කරගැනීමට අවස්ථාව උදාවී තිබෙන බවත් මෙහිදී මල්වතු මහනාහිමියෝ කීහ.

රජය අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට ලබා දුන් සහන පෞද්ගලික අංශ සේවකයින්ටද ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බවද ඇමැතිවරයා පැවැසුවේය.

සුඛෝපභෝගී රථවාහනවලට බදු පනවා එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා බදු සහන ලබා දුන්නේ දුප්පත් ජනතාවටද වාහනයක් මිලදී ගැනීමේ හැකියාව ඇති කරන්නට බව ද හෙතෙම කීය.

දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කැර නගාසිටුවීම සඳහා රජය නිරතුරුව ක්‍රියාකරන බවත් අයවැයෙන් සහල් මිල අඩු නොකළේ අපේ වී ගොවියා ආරක්ෂා කිරීමට බවත් ඒ මහතා පැවැසීය.

කුඩු, එතනෝල්කාරයින් උඩට ආව යුගය වෙනුවට සාධාරණ සුළු ව්‍යාපාරිකයින් මහා පරිමාණ ව්‍යාපාරිකයින් බවට පත්කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම කීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා