අප්‍රේල් 23දා සිට නව ගමනක්

අප්‍රේල් 23දා සිට නව ගමනක්

- අගමැති මහනුවරදී කියයි

එළඹෙන ජුලි මාසයේ අපේ ජයග්‍රහණය නැවතත් තහවුරු කිරීම සඳහා වැඩ කටයුතු කිරීමට තිබෙන බව කිව යුතුයි. අප්‍රේල් මාසයේ 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින නිසා අපේ ජයග්‍රහණය නැවත තහවුරු කරමින් අපි නව ගමනක් අරඹනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ අලුත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (31) මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවේදී පැවසීය.

ඔබ සියලුදෙනාම වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති කර අලුත් යුගයක් ඇති කිරීමට අපට පුළුවන් වුණා.

එම නිසා මහනුවරින් එතුමාට ඡන්දය දුන් ඔබ සියලුදෙනාටම ස්තුති කිරීම මගේ යුතුකමයි.

එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කළ සංවිධාන ගණනාවක් සිටිනවා. අපේ පක්‍ෂය පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දිගම්බරම් හා රාදාක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ ද්‍රවිඩ සංවිධානය, ද්‍රවිඩ ජාතික සංවිධානය, ඇතුළු පක්‍ෂ ගණනාවක් සිටින අතර සිවිල් සංවිධාන හා ලාල් විජේනායක යන මහත්වරුන්ගේ කණ්ඩායම්ට ද අපේ ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.

අනිකුත් කාරණය වනුවේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කළ සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට මා මාගේ ස්තුතිය පුද කර සිටිනවා.

සති තුනකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ශ්‍රී පවන් මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඊයේ නව අග්‍රවිනිශ්චයකාර ශ්‍රී පවන් මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනතාවට අද අවශ්‍ය වී තිබෙන්නේ විනාශ වී තිබෙන රට නව මාවතකට ගෙන ඒමටයි. රාජපක්‍ෂ රෙජිමය කොතරම් බිය වුවාද යන්න පවසනවා නම් ගම්පොළ ආසනයේ අග්‍රාමාත්‍යවරයා සිටින නිසා එම ආසනය බේරාගැනීම සඳහා අපේ නගරාධිපති වන හෙට්ටිආරච්චි මහතාව ඒ පැත්තට අරගත්තා. අද රට තුළ ඇතිවී තිබෙන ආර්ථික හා දේශපාලනික වෙනස දිහා බලා ජනතාව පවසන්නේ රයිගමයත් ගියා, ගම්පොළයත් ගියා කියායි.

ඔබ ඔබේ යුතුකම ඉටුකළා, මෙම රැස්වීම කතා තුනකට සීමා කළා. ඊට හේතුව . එම මැතිවරණයේදී වෙන වෙනම ඉදිරිපත් වීමට අප තීරණය කර තිබෙනවා. එම මැතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂයට බහුතර ආසනයක් ලබා ගැනීමට වැඩ කටයුතු කරමු. ඉන් අනතුරුව ශ්‍රීලනිප පක්‍ෂ ඇතුළු අනෙකුත් සියලුදෙනා සමග එක්වී ජාතික ආණ්ඩුවක් ඇති කර ගමු. බොහෝ කාලෙයකට පසු පෙරේදා අපේ රටේ සියයට 99 ක් වෙනුවෙන් අය වැයක් ඉදිරිපත් කළා.

ඒ අයවැය ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යටතේ අපේ අලුත් ආණ්ඩුව බව කිව යුතුයි. මේ අයවැයෙන් සහන ලැබුවේ ජනතාවයි. පසුගිය වකවානුවේ ඉදිරිපත් කළ අයවැයෙන් සිදුවූයේ ජනතාවට ජීවත්වන්නට බැරිතරම් බදු බර වැඩි කිරීමයි. සාමාන්‍ය ජනතාව ඇතුළු මධ්‍ය පංතියද ජීවත් වුණේ ඉතා අමාරුවෙන්. ගමේ ආදායම සම්පූර්ණයෙන් කඩා වැටුණා. 1% කට ඕනේ තරම් වරදාන, වරප්‍රසාද ලැබුණා, සහන ලැබුණා.

රට තුළ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ සියලු ප්‍රශ්න විසදන්නට පෙර ජනතාවගේ බඩ පිරවීම වැදගත්. රාජපක්‍ෂ රෙජිමය කිසිදු අනුකම්පාවකින් තොරව බදු බර දැමුවා. වැට් බදු, තීරු බදු ඇතුළු සියලු බදු වැඩි කළ අතර රීලෝඩ් බද්ද ද වැඩි කළා.

ජනතාවට සහන ලබා දෙනමෙන් අපි ඉල්ලා සිටියද ඒවාට ඇහුම්කන් නොදී සහන ලබාදීම ප්‍රතික්‍ෂේප කළා. එනමුත් අවුරුදු 10 ට පසු ජනතාවට අහිමි වූ සහන ලබාදීමට අපි පියවර ගෙන තිබෙන බව මා කියන්නට කැමතියි.

තමන්ට සහය දුන් ජනතාවට, දුක් විඳින ජනතාවට සහන නොදීම පෙරේතකමක්. රාජපක්‍ෂ රෙජිමයේ ආර්ථිකය හරිම පෙරේත ආර්ථිකයක්. එම ආර්ථිකයේ කපුවයි, කට්ටඬියයි වන්නේ පී.බී. ජයසුන්දරයි, අජිත් නිවාඩ් කබ්රාලුයි.

රාජපක්‍ෂ රෙජිමයේ පෙරේත ආර්ථිකයට කට්ටඬියෝ පමණක් නොව හතර වරම් දෙවිවරුන් සිටි බව කිව යුතුයි. එම හතර වරම් දෙවිවරු වනුයේ සුමල් පෙරේරා, නිමල් පෙරේරා, ධම්මික පෙරේරා හා පතිරගේ යන අයයි. සාමාන්‍ය ජනතාව දුක් විඳින විට මේ සතර වරම් දෙවිවරු රාජපක්‍ෂ මහතාගේ පෙරේත ආර්ථිකය ආරක්‍ෂා කළා. එක් එක් පුද්ගලයන් ආර්ථිකය තමන්ගේ අතට පත් කරගෙන කැසිනෝ ව්‍යාපාරය, එතනෝල් ව්‍යාපාරය පටන් ගත්තා.

මේ කැසිනෝ බලපත්‍ර තුනම ඉවත් කිරීමට අපි තීරණය කළා. තමන් ලංකාවට නො පැමිණෙන බව ජාත්‍යන්තර කැසිනෝ රජා වන ජේම්ස් පැකර් පවසා තිබෙනවා. තමන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේ කවුරුන්ද යන්න මා අසන්නට කැමතියි. මේ ආත්මයට ඔහුට ලංකාවට පැමිණීමට ඉඩ නැත. එවන් කැසිනෝ ආර්ථිකයක් අපට කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ.

කොළඹ ජනතාවට අපි ලබාදුන් ස්වර්ණ භූමි ඔප්පු ඇතුළු අනෙකුත් ලියවිලි තිබුණ මිනිසුන්ව ඔවුන් පදිංචිව සිටි ස්ථානවලින් පන්නා දැමුවා. ඔවුන්ගේ ගෙවල් කඩා බිඳ දැමුව පොලීසිය හා හමුදාව යෙදවා ඔවුන්ව පන්නා දැමුවා. මේ විශාල ප්‍රමාණයේ ඉඩම් අරගෙන කැසිනෝ කාරයන්ට ලබාදීමට පියවර ගත්තා.

කිරි මණ්ඩලයට අයිති අක්කර 15කුත් දීලා තිබුණා. ඒ සියල්ල අහෝසි කර නැවත එම ඉඩම් ලබා ගැනීමට පියවර ගන්නා බව මා කියන්නට කැමති. මේ රටේ විවෘත ආර්ථිකය ඇති කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. තරගකාරී ආර්ථිකය මගින් ජනතාවට මුදල් හබ්බ කිරීමේ මාර්ගය තිබිය යුතුයි. නමුත් සියලු දෙනාටම එක හා සමානව සැලකිය යුතුයි. ඔවුන්ගේ මහන්සියෙන් හම්බකර කෝටිපතියන් වීම කාටවත් ප්‍රශ්නයක් නොවේ. ඒත් රජයේ දේපළ සූරා කාලා, දුප්පත් ජනතාවට බදු බර පටවා, සොරකම් කිරීම විවෘත ආර්ථිකය නොවේ.

මේ ස්ථානයේ සිටින ඕනෑම කෙනෙක් තමන්ගේ ශක්තියෙන් හම්බකර කෝටිපතියන් වනවා නම් මා ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම තමන්ට සහයෝගය නොදුන් පක්‍ෂවල කවුරු හෝ තමන්ගේ ශක්තියෙන් ඉදිරියට එනවා නම් ඔහුට ද සුබ ප්‍රාර්ථනා කරනවා. එනමුත් අපේ පක්‍ෂයේ හෝ වෙනත් පක්‍ෂයේ ඒ දේපළ හොරකම් කරනවා නම් ඊට ඉඩ නොදෙන බව කිව යුතුයි.

මේ අවස්ථාව ජනතාවට සහන ලබාදීමේ අවස්ථාවයි. ජනතාවගෙන් නැවත නැවත බදු අය කරන්නට බැහැ. විවෘත ආර්ථික හා ධනවාදී ආර්ථිකය අනුව ලෝකේ ඕනේම රටක සිදුවන්නේ ධනවත් අයගෙන් බදු අරගෙන ජනතාවට සහන ලබාදීමයි. එංගලන්ත වැනි රටවල්වලත් ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී බදු වැඩි කළා. ඒ අනුව සමහර අංශවලට බදු දැමීමට අපටත් සිදු වුණා. මෙය විවෘත ආර්ථිකයේ කොටසක්. නමුත් මේ බදු අය කරන ක්‍රමය දීගටම තබන්නේ නැහැ කියාත් මා මේ අවස්ථාවේදී කියන්නට කැමැතියි. මේ සම්බන්ධව මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා මේ එක් වතාවක් බව පැහැදිලි කර තිබෙනවා.

මහජනතාවගේ අතේ මුදල් නොමැති නම් එය පාරිභෝගික ආර්ථිකයක් වශයෙන් හඳුන්වන්නට බැහැ. එසේ නොමැති ආර්ථිකය ඇත්ත වශයෙන්ම වහල් ආර්ථිකයක් බව කිව යුතුයි.

අපේ අයවැයෙන් ජනතාවට දුන් සහන කොටස් තුනකට බෙදන්නට පුළුවන්. පළමු වැනි එක ජනතාවට ජීවත්වීමට අමාරු නිසා බඩු මිලට සහන ලබාදීමයි. ඒ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 13 ක බඩු මිල අඩු කළා. තෙල් මිල අඩු කළ නිසා තවත් බඩු මිල අඩු වුණා. ගමන් ගාස්තු ඇතුළු, ඍජුව හා වක්‍රව බොහෝ භාණ්ඩවල මිල අඩු වුණා. මේ මිල අඩු කිරීම ජනතාවට දැනෙනවා.

දෙවැනි කොටස වන්නේ ණය බරෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමයි. රත්තරං බඩු උකස් කර ණය වූ පිරිසටත්, ගොවි ණය තිබූ අයටත් අපට පුළුවන් ආකාරයට සහන ලබා දුන්නා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම තුන්වන කොටස හැටියට සලකන්න පුළුවන්. ඒ මගින් ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වුණා. පළමුව රජයේ සේවකයන්ට රුපියල් 5000 ක අන්තර් දීමනාවක් ලබාදීමට පියවර ගත් අතර විශ්‍රාමිකයින්ට රුපියල් 3500 කුත් ලැබෙනවා.

මේ පඩි වැඩි කිරීම රජයේ සේවකයින්ට පමණක් සීමාවන්නේ නැහැ. පෞද්ගලික අංශයටත් වැඩිකිරීමට පියවර ගන්නවා. කර්මාන්ත අමාත්‍යවරයාට හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාටත් මා පවසන්නේ පෞද්ගලික අංශයේ සිටින අය සමග සාකච්ඡා කර මේ ක්‍රියාව ක්‍රියාවට නංවන්න කියායි.

කිරි මිල මෙන්ම වී මිලත් රුපියල් 10 කින් වැඩි කිරීමට අපි පියවර ගත්තා. හාල් මිල අඩු කරන්න බැරි ඇයි කියා සමහරු ප්‍රශ්න කරනවා. හාල් මිල අඩු වුණොත් ගමේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බව මේ අවස්ථාවේදී කිව යුතුය. ගමේ ආර්ථිකය කඩා වැටෙන විට නගර ආර්ථිකය කඩා වැටේවි. කොළඹ මෙන්ම මේ ප්‍රදේශවලද කුඩ, බිස්කට්, සපත්තු ඇතුළු අනෙකුත් භාණ්ඩ නිශ්පාදන කරන කර්මාන්ත ශාලා තිබෙනවා. සමහර අය බඩු භාණ්ඩ ආනයනය කරනවා. මේ අලෙවිය නගරවලට පමණක් සීමා වී නැහැ. ගමේ අලෙවිය නැතිනම් මේ කර්මාන්ත සියල්ල කඩා වැටෙනවා. මේ අලෙවිය දිගට පවත්වාගෙන යන්නට නම් ගමේ මුදල් තිබිය යුතුයි. වී මිල වැඩි වන විට ගමට මුදල් වැඩිවේවි.

ජනතාවට ලබාදුන් සහන ක්‍රියාත්මක වන විට සිංහල අලුත් අවුරුද්ද සරුවට සමරන්න පුළුවන් කියා කියන්නට කැමති.

රටේ උද්ගතව ඇති සියලු ප්‍රශ්නවලට එකවර විසඳුම් සොයා ගැනීමට බැහැ. අපි අද ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙල ප්‍රශ්නවලට මුහුණ්‍දීමට විශාල ශක්තියක් වනවා. අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න මෙන්ම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්න තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රැකියා ලක්‍ෂ 10 ක් ඇති කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. විසදීමට ප්‍රශ්න ගණනාවක් තිබෙන අතර, මේ සියල්ල කිරීමට පෙර හාමතේ සිටින ජනතාවට ඔක්සිජන් දිය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ කටයුතු කරගෙන යනවා. අපි සියල්ල එක්වී මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකවරයා වශයෙන් පත්වීම හොඳ ක්‍රියාවක්, සමහර අය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තුළ සිට වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීමට උත්සාහ කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ දේ බලාගනිවි. ඒගැන මම කතා කරන්නේ නැහැ.

අපි මූලික වැඩකටයුතු ඉටු කළා. මගේ ඉල්ලීම පිළි අරගෙන ඔබ සියලුදෙනාම ගමට ගිහින් වැඩකටයුතු කළා. අපේ රට විදේශ ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ගැන පැවසුවහොත් ඔබට ක්ලාන්තය හැදේවී. සියලු පාර්ශ්වයන්ම එකම මොහොතේ සැහීමකට පත් කරන්නට බැහැ. පියවරෙන් පියවරට ඉදිරියට යා යුතුයි. එවිට රටේ ප්‍රශ්න විසඳීමට අපට පුළුවන්. ණය බරින් රට මුදවා ගැනීම ද අපේ යුතුකමක්.

සමහර තැන්වල ෆයිල් පිට ෆයිල් ගෙනිහින් තිබෙනවා. ඒවා තුළ තිබුණෙ කුමක් ද කියා කවුරුත් දන්නේ නෑ. ජනාධිපති මන්දිරයේ තිබුණ වාහන 500 ක් සොයා ගැනීමටත් බැහැ කියා වාර්තා වනවා. මෙවන් ප්‍රශ්න රාශියක් මැද්දේ අපි රට භාරගත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇති කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමෙන් වැඩ කටයුතු කර ගෙන යනවා. රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජයග්‍රාහී මාර්ගය විවෘත කර දුන් ඔබ සියලුදෙනාටම මම මාගේ ස්තුතිය පුද කර සිටිනවා.

අපි එළඹෙන මහ මැතිවරණය ජයග්‍රහණය කරමු. එවිට තමයි මේ දරුවන්ට හොඳ අනාගතයක් උදාවෙන්නේ. ඔබ පවසන පරිදි මා දරුවන් වඩාගෙන ඉඹින්නෙ නැහැ. ඒ නමුත් දරුවන් ගැන බැලීමට වෙනම අමාත්‍යංශයක් ඇති කර තිබෙනවා.

අපට තිබෙන්නේ මොලේ පාවිච්චි කර දරුවන්ට සාරවත් අනාගතයක් උදා කරදීමයි. කාටද මේ දේ කරන්න පුළුවන් කියා අපි ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. කරන්නට බැහැ කියා පැවසුදේ අපි ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. අපේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය අපට ලබා දෙන්න.

ශාකා සමිති ඇති කර වැඩකටයුතු සිදු කරන්න. ලබන ඉරිදා අපි ඔබව මුණගැසී ඡන්ද වැඩපිළිවෙළ සිදු කරන අලුත් වැඩපිළිවෙළ කුමක්ද කියා පවසන්නම්.

වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

මිනිසුන්ට උවමනාවක් තිබුණා ආණ්ඩුව පෙරළන්න. රජයේ සම්පත් සියල්ල යොදාගෙනත් පසුගිය රජයට ජයග්‍රහණ කරන්න බැරිවුණා. අපි දුන්න පොරොන්දු ඉෂ්ට කරලා තියනවා. එදා රජය දුප්පත් මිනිසුන්ගේ බදු වැඩිකළා. අද අප සහන දුන්නේ පොහොසත් පවුල් 35කින් මුදල් අරගෙන. ඒ අයගේ එක්කෙනෙකුගේ ආදායම වර්ෂයකට මිලියන 2500යි. ඒ අයට අපි සියයට 25ක බද්දක් දැම්මා. ඒ මඟින් මේ රටේ ජනතාවට සහන ලබා දුන්නා. අපේ නායකතුමා ළමයි වඩා ගන්නේ නැති වුණාට කිරිපිටි මිල අඩු කළා. අද පාර්ලිමේන්තුවේ අපි අතුරේ යන ගමනක් යන්නේ. අපි මැතිවරණයකට සූදානම් විය යුතුයි.

තැපැල් හා මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍ය ඒ. එච්. එම්. හලීම් මහතා,

පසුගිය මැතිවරණයේ දී මහනුවර විශිෂ්ට ජයක් ලැබුවා. අපි දුන් හැම පොරොන්දුවක්ම ඉතා කෙටි කාලයක් තුළ ලබා දුන්නා. තව මාස 3කින් මැතිවරණයකට සූදානම් විය යුතුයි. අපිට ඊළඟ මැතිවරණය පහසුවෙන් ජයගන්න පුළුවන් කියා සිතන්න නරකයි. දුෂ්කරතාවන්ට මුහුණ දී ජය ලැබිය යුතුයි. අපිත් එක්ක එකතු වෙන සියලුදෙනාම ළං කරගන්න ඕන. එජාපය අද නියම මඟට පා තබා තිබෙනවා.

මෙහිදී පිළිගැනීමේ කතාව මහනුවර හිටපු පුරපති කේසර සේනානායක මහතා විසින් පැවැත්වූ අතර ස්තුති කතාව පළාත් සභා මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා විසින් පවත්වන ලදී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා