අයි.එස්.ත්‍රස්තයෝ අනෙක් ජපන් ප්‍රාණ ඇපකරුවාත් ඝාතනය කරති

අයි.එස්.ත්‍රස්තයෝ අනෙක් ජපන් ප්‍රාණ ඇපකරුවාත් ඝාතනය කරති

ත්‍රස්තවාදයට හිස නොනමන බව ජපන් අගමැති පවසයි

අයි.එස්. ඉස්ලාම් ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකරුවෙක් ලෙස රඳවාගත් ජපන් ජාතික මාධ්‍යවේදී කෙන්ජි ගොටෝ අමානුෂික ලෙස මරා දමා ඇති බවට වීඩියෝ පටයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මාධ්‍යවේදියා ආපසු ජපානයට ලබාදීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක කප්පම් මුදලක් දිය යුතු බවට ත්‍රස්තවාදීන් විසින් කොන්දේසියක් ඉදිරිපත් කර තිබිණි.කෙසේවෙතත් ලොව දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස සැලකෙන අයි.එස්. ත්‍රස්වාදීන්ට හිස නැමීමට ජපන් අගමැති ෂින්සෝ අබේ ප්‍රතික්ෂේප කළේය. ගොටෝගේ මව,බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ඇවිටිලි මධ්‍යයේ වුවද ගොටෝ නිදහස් කර ගැනීමට කප්පම් නොගෙවන බවට ප්‍රකාශ කර තිබූ අගමැති අබේ, එම ස්ථාවරයේ දැඩිසේ එල්බගෙන සිටියේය.

මෙම සිද්ධිය ඇසීමත් සමඟ අගමැති අබේ අයි.එස්.ත්‍රස්තවාදීන්ගේ විරුද්ධවාදී මැදපෙරදිග කණ්ඩායම්වලට ලබාදෙන මානුෂීය ආධාර තවදුරටත් වැඩි කරන බවටත් ඝාතකයන් අධිකරණය ඉදිරියට පමුණුවන බවටත් සපථ කර තිබේ. ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගන්නා බවත්, ත්‍රස්තවාදයට කිසිදා හිස නොනමන බවත් තරයේ කියා තිබේ.

මේ අතර, අයි.එස්. ත්‍රස්තවාදින් කුපිත කිරීමට ජපන් අගමැති කටයුතු කිරීම එරට විරුද්ධ පක්ෂයේ විවේචනයට ලක්වී ඇති අතර, එම ක්‍රියාමාර්ගයේ ප්‍රඥාගෝචර බව පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

ගොටෝ ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම ලෝක ප්‍රජාවගේ දැඩි කනස්සල්ලට හේතු වූ අතර එම සාහසික ක්‍රියාව ලෝක නායකයන් ජගත් මහ ලේකම් ඇතුළු ප්‍රජාව එක හඬින් හෙලා දැක තිබිණි.

මේ අතර අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවෙක් වශයෙන් සිටින ජෝර්දාන් ජාතික ගුවන් නියමුවා මුදා ගැනීමට එරට රජය තම අත්අඩංගුවේ පසුවන කාන්තා අයි.එස්.ත්‍රස්තවාදියා නිදහස් කිරීමට එකඟ වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් ප්‍රාණ ඇපකරුවෙක් වශයෙක් සිටි ජෝර්දාන් නියමුවා අයි.එස්.ත්‍රස්තවාදීන් විසින් දැනටමත් මරා දමා ඇති බවට සැක මතුවීම නිසා මෙම ගනුදෙනුව කිරීමට ජෝර්දාන් රජය පසුබට වන බවත් වැඩිදුරටත් වාර්තා වේ. ලොව බිය ගන්වා තම සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ ව්‍යාපාරයක් අයි.එස්. ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් දියත් කොට ඇති බවටද විශ්වාස කෙරේ.

අයි.එස්.ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි අනික් ජපන් ජාතිකයාද එම කල්ලිය විසින් පසුගිය දා කුරිරු අන්දමින් ඝාතනය කර තිබිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා