ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අලුත්ම පාඩම කියා දීමට අපට හැකි වුණා

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අලුත්ම පාඩම කියා දීමට අපට හැකි වුණා

- ජනපති

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නවතම පාඩම ලොවට කියා දීමට අපට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) කොළඹදී ඇරැඹි සාර්ක් පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු කටයුතු ඇමැති එම්. එච්. මොහොමඩ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ ඇරැඹි සාර්ක් පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.

සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය ඉදිරිපත් කළ අතර එහි මෙසේ ද සඳහන් විය.

ලියන 1.5 කට අධික ජනගහනයක් වාසය කරන සාර්ක කළාපයේ රටවල් වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ඉතා හොඳ අත්දැකීම් තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන විට ඉතා ඈත අතීතය කරා එම කතාව දිව යනවා. අපේ රට අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටි කාලයේ දී මෙරට සිටි නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නැගුවා. 1931 දී අපට සර්වජන ඡන්ද අයිතිය දිනා ගැනීමට හැකි වුණා.

නිදහසින් පසු අපේ රටේ ජනතාවට වඩාත් හොඳින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින්නට ඉඩ ලැබුණා. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ද නිදහසින් පසු අපට විශාල අත්දැකීම් ප‍්‍රමාණයක් එකතු වුණා.

දශක තුනක පමණ කාලයක් තිස්සේ මෙරට එක් ප‍්‍රදේශයක පැවැති ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය නිසා එම ප‍්‍රදේශයේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් අහිමි වෙමින් තිබුණා.

අද වන විට නැගෙනහිර පළාත මුළුමනින්ම ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් පවත්වා එම ප‍්‍රදේශයේ සිවිල් පරිපාලනය ස්ථාපිත කර තිබෙනවා. උතුරේත් ත‍්‍රස්තවාදය විනාශ කොට සිවිල් පරිපාලනය ස්ථාපිත කෙරෙමින් තිබෙනවා.

තව නොබෝ දිනකින් මුළු රට පුරාම ත‍්‍රස්තවාදය මුළුමනින්ම නැතිකොට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා දීමට රජය කැප වී සිටිනවා. ;ම් අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නවතම පාඩම ලොවට කියා දීමට අපට හැකි වී තිබෙනවා.

මෙරට දී පසුගිය වසරේදී පැවැති 14 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවේදී ගත් තීරණයකට අනුව සාර්ක් පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුව දෙදිනක් පුරා මෙරටදී පැවැත්වෙනවා.

කළාපීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම් හුවමාරු කර ගැනීමට මේ සමුළුව හොඳ වේදිකාවක් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු කටයුතු ඇමැති එම්.එච්. මොහොමඩ් මහතා මේ සමුළුවේ පිළිගැනීමේ කතාව කෙළේ ය.

සාර්ක් මහ ලේකම් ආචාර්ය ශීල් කාන් ශර්මා මහතාගේ පණිවිඩය සාර්ක් පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුවේ අධ්‍යක්ෂ ගුලාම් දාස් ටිගර් මහතා විසින් සමුළුවට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සීතා විතානාරච්චි මහත්මිය ද කතා කළා ය.

සාර්ක් රටවල පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරුන් මේ සමුළුවට සහභාගි වූ අතර සමාරම්භක උත්සවයට ආරාධිත අමුත්තන් ලෙස ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හුසෙයින් බයිලා මහත්වරුද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා