දළදා මාළිගාවට පහරදීමේ පාපයට ප‍්‍රභාකරන් ළඟදී ම වන්දි ගෙවනවා

දළදා මාළිගාවට පහරදීමේ පාපයට ප‍්‍රභාකරන් ළඟදී ම වන්දි ගෙවනවා

- ජනපති මහින්ද රාජපක්ෂ

ශී‍්‍ර දළදා මාළිගාවට, ජය ශී‍්‍ර මහා බෝධියට පහරදීමේ පාපයට වන්දි ගෙවීමට ප‍්‍රභාකරන්ට තව දින කීපයක් ඇතුළත සිදුවන බවත්, එය ප‍්‍රභාකරන්ගේ දෛවයේ සරදමක් නොව රණවිරුවන්ගේ මග ශක්තිමත් කළ සමස්ත ජාතියේ ම ජයග‍්‍රහණයක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ජාතිය අද යන ජවසම්පන්න ගමන නතර කිරීමට කිසිඳු බලවේගයකට නොහැකි බව දළදා හමුදුරුවන් වැඩවසන පූජනීය මහනුවර නගරයේ සිට සියලු දෙනාට මතක් කර දෙන්නේ යැයි ජනාධිපතිවරයා ඊයේ (10) අවධාරණය කෙළේ ය.

ජනාධිපතිවරයා මේ අදහස් ප‍්‍රකාශ කෙළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මධ්‍යම පළාත් සභාවට තරග වදින අපේක්ෂකයන් ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (10) පැවැති ජයග‍්‍රාහී ජනරැලිය අමතමිනි.

මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් “රට සුරකින සටන රකිමු” මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ රැලි මාලාවේ අවසන් ජයග‍්‍රාහී ජන රැලිය වූ මහනුවර රැලියට දැවන්ත ජන ගංඟාවක් එක් වූ අතර රැලියට පැමිණි ජනාධිපතිවරයාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්ද ලැබුණි.

මධ්‍යම පළාත් සභාව මෙවර මැතිවරණයේදී ලබන ඓතිහාසික ජයග‍්‍රහණය පිළිබඳව සමීක්ෂණ පැවැත්වීමට වුවමනා නැති බව පැවැසූ ජනාධිපතිවරයා මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයට පැමිණ සිටින ජන ගංඟාව දෙස බැලූ විට ජයග‍්‍රහණය ස්ථිර වන බවත් සඳහන් කෙළේ ය.

මෙහි පැමිණ සිටින ජන ගංඟාව රැල්ලට පැමිණි ජන ගංඟාවක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජාතියේ ජයග‍්‍රහණ මාවත දැක ඊට සහාය දෙන්නට මේ ජනකාය පැමිණි බවත් පැවැසීය.

මධ්‍යම පළාතෙන් සන්ධානය ලබන ජය පිළිබඳ ව කිසිඳු සැකයක් නොමැති බවත් එය රට ලබන සැබෑ විජයග‍්‍රහණයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කෙළේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද සඳහන් කෙළේය. තමුන්නාන්සේලාට මතක ඇති අපි මේ ඡන්දය ආරම්භ කරන්නත් කලින් මුල ඉඳලම කිව්වා මේක නිකම් ඡන්දයක් නොවන බව. මේ ඡන්දය රණවිරුවන් රටට ලබා දෙන ඓතිහාසික ජයග‍්‍රහණය ශක්තිමත් කරන ඡන්දයක්. ජාත්‍යන්තර වශයෙන් විතරක් නෙමෙයි මේ රටේ ඇතැම් පිරිස් මේ ගමන අහුරන්න අටවන උගුල් දැකපු නිසයි අප එහෙම කිව්වේ.

මේ ඡන්දය රණවිරුවන් ලබන ජයග‍්‍රහණ ඉදිරියට ගෙනියනවාද නැද්ද කියලා තීරණය කෙරෙන ඡන්දයක් බව සමහරු කිව්වා. එයාලා පටන් ගත්තම මේක පැරැදුණොත් ජනතාව ආණ්ඩුවේ ගමන අනුමත කරන්නේ නෑ. ජනතාව ආණ්ඩුව සමඟ නෑ කියලා පෙන්වන්න හිතාගෙනයි.

මේක පෙන්නලා මරණ මංචකයේ ඉන්න ත‍්‍රස්තවාදීන්ට ඔක්සිජන් දෙන්නයි කුමන්ත‍්‍රණය කෙළේ. ඒ කුමන්ත‍්‍රණ පරාජය කර තිබෙනවා. ඒ නිසා මධ්‍යමෙන් වයඹෙන් ලබන ජයග‍්‍රහණය රටේ ගමන ශක්තිමත් කරන ඓතිහාසික ජයග‍්‍රහණයක්. ඒ ජයග‍්‍රහණය වෙනුවෙන් දෙන ඡන්දය අපේ රටේ අනාගතය රැක ගන්න දෙන සුවිශේෂ ඡන්දයක් බව කිව යුතුයි.

මේ වන විට දළදා මාළිගාවට පහරදීලා වසර 11 යි. එදා ජාතියම ඒ ගැන කම්පා වුණා. මුළු බෞද්ධ ලෝකයම කම්පා වුණා. එහෙත් එන්න එන්නම ත‍්‍රස්තවාදියා බලසම්පන්න වුණා. මහනුවර ජනතාවට 1815 පසු අහිමු වූ හැම දෙයක්ම නැවත උරුම කර දෙන යුගයක් බවට පත් කරනවා. මහනුවර සංවර්ධනය කරනවා වගේම යළිත් ඓතිහාසික කීර්තියක් මේ බිමට උදාකර දීමට සූදානම් බව මතක් කර දෙනවා.

අප ඒ සඳහා මේ වන විට පියවර තබා අවසන්. ඒ නිසා තමයි ඓතිහාසික නුවර පිහිටා තිබූ බෝගම්බර හිරගෙදර වෙනත් තැනකට ගෙනියන්න තීරණය කෙළේ. හිරගෙදර විතරක් නෙමෙයි පොලීසියත් ගෙනියන්න ඕනේ. මේවා ඉවත් කර වඩා ලස්සන නගරයක්, පුදබිමේ ගෞරවය රකින නගරයක් බවට මහනුවර පත් කිරීමට සූදානම්.

නගර සංවර්ධනය කරනවා වගේම ගුණදම් රකින නගරයක් බවටත් පත් කළයුතුයි. මහජනතාවගේ ගුණදම් පෝෂණය කර ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කළයුතුයි. රට සංවර්ධනය කළාට මදි ජනතාවගේ හදවත් පිරිසිදු කොට ගුණදම් පෝෂණය කළයුතුයි. රටක් සංවර්ධනය වුණා කියන්න මේ දෙකම කරන්න ඕනේ. මිනිසුන්ගේ හදවත් හදන්නේ නැතිව බිලියන ගණන් වටිනා සංවර්ධන ව්‍යාපාර කළාට රටක් සංවර්ධනය වුණා කියලා සතුටු වෙන්න බැහැ.

අපි මහනුවර ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරනවා. ඒ අවශ්‍යතා යුද්ධය ලෝක ආර්ථිකය බිඳ වැටීම නිසා නතර කරන්න උත්සාහ කළේ නැහැ. මග නැඟුම යටතේ මධ්‍යම පළාතේ විතරක් ගම් 3000 කට වඩා සංවර්ධනය කර තිබෙනවා. පවුල් ලක්ෂ 17 කට වඩා කෙළින්ම මේ සංවර්ධනය බලපානවා. අපි උඩරට සංවර්ධන වැඩපිළිවෙළට කෝටි ගණනක් මුදල් වෙන්කර තිබෙනවා. මධ්‍යම පළාත සෞභාගමත් නගරයක් බවට පත් කෙරෙන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරනවා.

මධ්‍යම පළාතේ සෞඛ්‍ය නංවාලීමට නාවුල රෝහල දියුණු කළා. දඹුල්ල මහ රෝහල, රිකිල්ලගස්කඩ රෝහල සංවර්ධනය කළා. රෝහල් 89 කට වඩා දියුණු කළා. කෝටි ගණනක් සෞඛ්‍යයට වෙන්කළා. වඩා හොඳ රෝහල් ගමේ බිහි කරන්න පියවර අරන් තියෙනවා. මේ ජනතාවට ඒවායේ ප‍්‍රතිලාභ ලබන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්න කටයුතු කරගෙන යනවා.

මේ සියලු සහන දුන්නේ මහා යුද්ධයක් කරන අතරයි. විදුලිය, දුරකතන, ජලය හැම දෙයක්ම දුන්නා. විශාල පානීය ජල යෝජනා ක‍්‍රම අප මේ පළාතේ ආරම්භ කළා. පාර දිගේ පයිප්ප අදිද්දී පාර කැඩිලා මඩ වෙනවා. ඒ ගැන පැමිණිලි එනවා.

ඒ නිසා ඒකටත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. පරිගණක තාක්ෂණය ගමට ගෙනියන්න නැණසල ආරම්භ කළා. කොළඹ දරුවන්ට පමණක් නොවේ අහිංසක ගමේ දරුවන්ටත් පරිගණක තාක්ෂණික දැනුම ලබා දෙන්න පාසල් 250 කට වඩා පරිගණක පහසුකම් ලබා දුන්නා. මේ රටේ සිසු දරු දැරියන්ට එක සමානව අධ්‍යාපනය ලැබීමේ අයිතිය උදාකර අවසන්.

දෙමළ මාධ්‍ය ගුරුපත්වීම් 6000 ක් වතුකරයට දුන්නේ දෙමළ, මුස්ලිම්, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ වගකීම අපට තියෙන නිසා. අප ජාතියක් ලෙස ඉදිරියට යද්දී හැමදෙනාගේම සහාය ඊට අවශ්‍යයි. මේ රට ආයෙත් අභාග්‍යසම්පන්න යුගයක් කරා නොයැවීමේ වගකීම අපට තියෙනවා. අලුතෙන් කොන්කී‍්‍රට් කරපු පාරවල්වල යනකොට එජාප මහත්වරුන්ට හරි අමාරුයි.

එතකොට එයාලට ආණ්ඩුවට බනින්න හේතුවක් නැහැනේ. ඒ නිසා මේවා සංවර්ධනය කර තමුන්නාන්සේලාට හොඳින් බියෙන් සැකෙන් තොර සමාජයක් රටක් ගොඩනගන්න අප හා එක්වන්න.

අප සේරම ඔබ දෙස බලා සිටිනවා. 14 වැනිදා ඔබ දෙන තීන්දුව මේ රටේ ඉදිරිය ගැන දෙන තීන්දුවක්. 14 වැනිදා උදේ පාන්දරම ගිහින් තමන්ගේ යුතුකම ඉටුකර බුලත් කොළය ජයග‍්‍රහණය කරවන්න. තමුන්නාන්සේලාට දෙවැනි ඡන්ද තුනකින් තියෙනවා. ඒ තුන පැහැදිලිව තුන් දෙනෙකුට දෙන්න. එක්කෙනෙකුට දෙන්න එපා. ඒකට ඔබට අයිතියක් තියෙනවා.

ඒක උදුරගන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා ඡන්ද තුනම පාවිච්චි කරන්න කියලා රටේ නායකයා මෙන්ම සන්ධානයේ නායකයා ලෙසත් දැඩිව ඉල්ලා සිටිනවා. බුලත් කොළය ජයග‍්‍රහණය කර රටේ නිදහස ස්ථිර කරන්න.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති ශී‍්‍ර.ල.නි.ප මහලේකම් මෛති‍්‍රපාල සිරිසේන මහතා - පෙබරවාරි 14 වැනිදා තමුන්නාන්සේලා ඡන්දය පාවිච්චි කරන්නේ මේ රටේ අනාගතය වෙනුවෙනුයි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන තර්කයක් තියෙනවා. මධ්‍යම පළාත් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයා කියනවා .

මේ මධ්‍යම පළාතේ ජයග‍්‍රහණ මීට පෙර ලැබුණේ එජාපයට කියලා. අනිත් පළාත් සභා ජයග‍්‍රහණය කළාට මේ පළාත් සභාව සන්ධානයට දිනාගන්ඩ බැහැ කියලා එජාපය කියනවා. නැගෙනහිර පළාත් සභාව පවත්වන්න තීරණය කරපු අවස්ථාවේ ඔය මහත්වරු ඔය කතාවට කිව්වා. පළාත් වශයෙන් ගත්තොත් එජාපයට වැඩිම වාසි තියෙන පළාත තමයි නැගෙනහිර. මැතිවරණ ඉතිහාසයේ ඒ බව පෙන්නුම් කරනවා. ජනාධිපතිවරණයේදී එජාපය අපට වඩා වැඩි ඡන්ද 150000ක් ගත්තා.

එහෙත් නැඟෙනහිර පසුගිය පළාත් සභා මැතිවරණයේ දී සන්ධානය එජාපයට වඩා වැඩි ඡන්ද 150,000ක් ගත්තා. උතුරු මැද, සබරගමුව පළාත් සභා විසුරුවපු ගමන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් එජාපය පළාත් සභා මැතිවරණය පවත්වන එක නිත්‍යානුකූල නොමැති බව කීවා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නා මැතිවරණය පැවැත්වීම නිත්‍යානුකූල බවට අති විශිෂ්ට ජයක් සන්ධානයට සබරගමුව හා උතුරු මැදින් නැගෙනහිර සබරගමු, උතුරු මැදට වඩා අතිවිශිෂ්ට ජයක් වේද? මධ්‍යමෙන් සන්ධානය ලබන බව ස්ථිරයි.

පසුගියවර සන්ධානය පරාජය වෙනකොට මහනුවර කෙහෙළිය අපිත් එක්ක නැහැ. නුවරඑළියේ තොණ්ඩමන්, චන්ද්‍රසේකරන්, නවීන් අපිත් එක්ක නැහැ. වතුකම්කරු ජනතාව, මුස්ලිම් ජනතාව එදා හිටියේ එජාපය සමඟයි.

පසුගිය වසර 2 1/2 තුළ ශ්‍රේෂ්ඨ රණවිරුවෝ ගෙනගිය රටගලවා ගැනීමේ සටනට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නායකත්වය දුන්නා. එමඟින් නැගෙනහිර නිදහස් කරගත්තා. උතුර අද නිදහස් කරගෙන යනවා. මේ රටේ ජනතාව කොල, නිල්, රතු කොඩි ගේ ඇතුලේ තියලා සිංහ කොඩිය අතට අරගෙන එළියට ආවේ මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් එක්ක එක රටක් තුළ ගමනක් යනවා කියන ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානය ඇතිවයි.

ප‍්‍රභාකරන් හා රනිල් වික‍්‍රමසිංහ එදා රට විතරක් නොව ජනතාවත් බෙදා වෙන්කළා. ජනපතිතුමන් රණවිරුවන් කරන උදාර කැපවීමත් එක්ක අද රට විතරක් නොවෙයි අද එකතු කරලා තිියෙන්නේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සිංහල දෙමළ, මුස්ලිම් සියලු ජනතාවත් අද එකතු කරලා තියෙනවා. මේක රටක් ලෙස රටේ සියලු දෙනා තේරුම්ගෙන තිබෙනවා.

මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ප‍්‍රබල එජාප පක්‍ෂිකයෝ අපට හමු වී පැවසුවේ අපි එජාප පාක්ෂිකයෝ වුනත් මේ වෙලාවේ ජනාධිපතිතුමා යන ගමනට සහයෝගය දෙන්න ඕන කියලයි. අපි ඡන්දය පාවිච්චි කරන්නේ ජනාධිපතිතුමන්, රණවිරුවන් හා සන්ධානය ශක්තිමත් කරන්නයි කියලා මේ අය කිව්වා.

පෙබරවාරි 15 වන විට මහනුවර දිස්ති‍්‍රක්කය වගේම මධ්‍යම පළාත සන්ධානය විශිෂ්ට ලෙස ජයගන්නවා. එජාප ඉතිහාසයේ ඔවුන් ලබන අන්තිම පරාජය ඔවුන් මෙවර ලබනවා. එජාප නායකත්වයට පැමිණි ඩී. එස්. සිට හැම අයෙකුම මේ රටේ රාජ්‍ය නායකයා වුණා. එ්ත් රනිල් වික‍්‍රමසිංහට මේ රටේ රාජ්‍ය නායකයා වෙන්ට බැරිවුණා. ඔහු තමයි එජාපයෙ අවාසනාවන්තම නායකයා.

නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - නිදහස පිළිබඳ කතන්දරේ තවත් ජයග‍්‍රාහී පියවරක් තැබිය හැකි ඓතිහාසික ජනතා තීන්දුවක් ගන්නා අවස්ථාවක්. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මීට වසර කිහිපයකට පෙර ජාතිය පාවා දීමේ ගිවිසුමට අස්සන් තැබුවා. ඒක අපිට අමතක නැහැ. ඒ උත්සාහය පරාජය කරන්න අපේ දේශපෙ‍්‍ර්මි ජනතාවට හැකි වුණා.

අපේ හමුදාවලට යන්න කියලා ප‍්‍රභාකරන් ගේ හමුදාවට නම් නගර පාලනය කරන්න දුන්නා. රොකට් , පොළව යට, පොළව උඩ මාළිගා, සබ්මැරින්, ගුවන් පථ අපේ රණවිරුවන් අල්ලාගෙන රටේ එක්සේසත් බව ඇති කර තිබෙනවා.

කුමන්ත‍්‍රණකාරී රනිල්ට දිය හැකි දඬුවම කතිරය තුළින් ගෙන එන්න. රට ආරක්‍ෂා කරන අතරට ත‍්‍රස්තවාදය මෙන්ම බෙදුම්වාදය අවසන් කර ජනතාව සාමයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම ජනාධිපතිතුමාගේ අරමුණයි. අද සංවර්ධනය ගමට ගිහින් තිබෙනවා. ආහාර බෝග වැවීමේ වැඩ සටහන කි‍්‍රයාත්මක කෙරෙනවා. අහරින් ස්වයංපෝෂිත වීමේ ජාතික වැඩපිළිවෙල ප‍්‍රතිඵල ලබා තිබෙනවා. ගම පුබුදුවන අලුත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කෙළේ ජනාධිපතිතුමයි.

1815 පසු කන්ද උඩරටට මේ තරම් විශාල මුදලක් වැය කළ කාල සීමාවක් නැහැ. අමාරු යුද්ධයක් තියෙද්දී ගමට ඉටු කළ යුතු කාල පරිච්ඡේදයකයි පළාත් සභා පත් කෙරෙන්නේ . මේ සටනෙන් පසු අලුත් ආර්ථික පිම්මක් පැනෙනවා. සන්ධානය ඉටු කළ වගකීම් කොටසගේ අනාගත සුරක්ෂිතතාව පිළිබඳ තීන්දුව ප‍්‍රකාශ කරන්න අවස්ථාව උදා වී තිබෙනවා. මහනුවරට ජලය සැපයීමේ ව්‍යාපෘතියක් රුපියල් මිලියන 9000ක වියදමෙන් කෙරෙනවා.

විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමැති, ජාතික ආරක්ෂක ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා - එදා බණ්ඩාරනායක අගමැතිතුමාට විරුද්ධව බලවේග ඒකරාශී වූ ආකාරයෙන් අද ලෝකයේ යම් යම් සංවිධාන,, දේශපාලන කණ්ඩායම් මේ ගමන නතර කරන්න මහත් වෙහෙසක් දරනවා.

කිලිනොච්චිය ජයග‍්‍රහණය කර මුලතිව්වලට කොටු වී සිටි කොටියට පහර දෙද්දී වැඩියෙන් රිදෙන්නේ ජාත්‍යන්තර සංවිධානයට සහ විපක්ෂයටයි. මධ්‍යම පළාතේ ජනතාව ගත යුතු තීන්දුව නම් අපට අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා දීමයි.

මධ්‍යම පළාත වෙනස් වුණොත් ඒ වෙනස කොටියාගේ පඩි පොතේ වැඩ කරන විපක්ෂය, ද්‍රවිඩ සංධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානවලට වාසියි. ඒ අයට අවස්ථාවක් ලැබෙනවා ලෝකයට හඬගා කියන්න මහින්ද රාජපක්ෂ රජය ගෙනියන යුද්ධයට ජනතාව එකඟ නැති බව. කොටින්ට ඔක්සිජන් ලබා දෙන්න ඒ අයට හැකි වෙනවා.

නිදහසේ අරුණලු දකිමන් තිබෙන මේ මොහොතේ මහනුවර දිස්ති‍්‍රක්කයේ ජනතාව සියලු බේද අමතක කර කටයුතු කළ යුතුයි.

මේ රටේ පහුගිය කාලයේ මැතිවරණ තිබ්බා. ඒවායෙත් ආණ්ඩු පත් වුණා. නායකයෝ පත්වුණා. නමුත් තමුන්නාන්සේලා නොදන්න කාරණයකුත් තිබෙනවා. ඒ ආණ්ඩු නායකයෝ පත්කළේ කිලෝමීටර් 250ක් ඈතින් ඉන්න, අද අඬු බඩු කැඩිලා ඉන්න මිනීමරු ප‍්‍රභාකරන්. රණසිංහ පෙ‍්‍ර්මදාස මේ රටේ ජනාධිපති වෙලා හිටියා ඇති කියලා තීරණය කළේ ප‍්‍රභාකරන්.

ගාමිණී දිසානායක දේශපාලනය කළා ඇති. දැන් සමුගත යුතුයි කියලා තීරණය කෙළේ ප‍්‍රභාකරන්. චන්ද්‍රිකාගේ දේශපාලන යුගය අවසන් කරන්න කියලා අණ කළේ ප‍්‍රභාකරන්. අපි මැතිවරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දේශපාලනය ගැන කථා කරනවා.

නමුත් අවසන් තීරණය ගත්තේ ප‍්‍රභාකරන්. ජනාධිපතිතුමා බලයට පත් වෙලා තීරණයක් ගත්තා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න. එහෙත් ් මිනීමරු කොටියා පහර එල්ල කරන්න වුණා.

මේ රැලිය අමතා පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක, කෘෂිකර්ම සංවර්ධන ඇමැති හේමකුමාර නානායක්කාර, විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, සංචාරක නියෝජ්‍ය ඇමැති පයිසර් මුස්තාපා, ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ, සබරගමු මහ ඇමැති මහීපාල හේරත්, මධ්‍යම පළාත් මහ ඇමැති අපේක්ෂක සරත් ඒකනායක යන මහත්වරුද කතා කළහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේ, ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, දොස්්තර රාජිත සේනාරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා