පන්සලෙන් ඈත් වූ ජනතාව සමීප කරන්න මහින්ද චින්තන බලපෑවා

පන්සලෙන් ඈත් වූ ජනතාව සමීප කරන්න මහින්ද චින්තන බලපෑවා

- ශාස්ත‍්‍රපති පණ්ඩිත අරම ධම්මතිලක නාහිමි

බෙහෝ දෙනෙක් පන්සලෙන් ඈත්වන සමයක ඒ ආකල්පය බැහැරකොට පන්සලට වඩාත් සමීපවන්නට දැන් පටන් ගෙන ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ නිසායයි ජනමාධ්‍ය උපදේශක සභාවේ, කොළඹ දිසාවේ සංඝනායක හා ගොතටුව පාරමිතා බෝධිමළු විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත අරම ධම්මතිලක නාහිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ නවම් පුන් පොහෝදා ඉන්දික රණසිංහ හා හසිත රණසිංහ දෙසොහොයුරන් විසින් සිය නැසීගිය සොහොයුරිය වූ සුජාතා රණසිංහ මෙනෙවිය සිහිවීම් වස් විශාල ප‍්‍රමාණයේ රෝස තිරුවානා බුද්ධ ප‍්‍රතිමාවක් එම විහාරස්ථානයට පූජා කිරීමේ උළෙලේදීය.

උන්සව සභාව අමතා ධම්මතිලක නාහිමියෝ මෙසේද පැවැසූහ.

බුද්ධ ප‍්‍රතිමාවට වන්දනා මාන කරන්නට පටන් ගත්තෙ බුද්ධ කාලයෙන් අනතුරුවයි. කණිෂ්ක රාජ සමයේ ඇතිවුණු බුද්ධ ප‍්‍රතිමා කලාව විවිධ සම්ප‍්‍රදායයන්ගෙන් එය නිර්මිත වූවා.

අපේ රටේ බුද්ධ ප‍්‍රතිමා සම්ප‍්‍රදාය විවිධ හැඩරුව ගන්නවා. අවුකන, මාලිගාවිල පොළොන්නරුව ගල්විහාර හිටි පිළිමත්, අනුරාධපුර මහ මෙවුනාවේ සමාධි බුද්ධ ප‍්‍රතිමාවත් බුද්ධ ප‍්‍රතිමා කලාවේ සුවිශේෂිතයි.

ඉන්දියාවේ අගමැතිවරයකුව සිටි ශී‍්‍ර ජවහර්ලාල් නේරු මහතා මහ මෙවුනාවේ සමාධි බුද්ධ ප‍්‍රතිමාවට දැක්වූයේ අසීමිත භක්තියක්.

එතුමා සිරගත වී සිටි අවස්ථාවේදී අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාවේ පින්තූරයක් දෙස බලමිනුයි කිසියම් සාහැල්ලුවක් ලැබුවේ.

එතුමා කී කතාවක් තමයි බුදුරදුන් උපත ලත් ඉන්දියාවේ නැති බෞද්ධ ප‍්‍රබෝධයක් ලංකාවේ ඇතිවී තිබීම ආඩම්බරයට හා පී‍්‍රතියට කරුණක් බවයි.

එදා දෙවැනි එළිසබත් මහ රැජන ශී‍්‍ර ලංකාවට පැමිණ මහ මෙවුනාවේ සමාධි බුද්ධ ප‍්‍රතිමාව දුටු අවස්ථාවේ එයට ගෞරවයක් වශයෙන් පස්සෙන් පස්සට ගොස් තමයි එයට ගරු කෙළේ. ඒ තරමටම බුද්ධ ප‍්‍රතිමා අපේ ජීවිතයට බද්ධ වෙලා. එමෙන්ම පහන් සංවේග දනවන්නක්.

මේ රෝස තිරුවානා බුද්ධ ප‍්‍රතිමාව ද පහන් සංවේග දන වන්නක්. ගන්ධාර බෞද්ධ සම්ප‍්‍රදාය මත තනන ලද මෙය ඉතාම විශිෂ්ට නිර්මාණයක්.

බුදුරදුන්ගේ අපරිමිත ගුණ සමුදාය මෙසේ බුද්ධ ප‍්‍රතිමාවකින් කියා පාන්න බැහැ. ශිල්පියා කරන්නේ එයින් අංශුවක් එම ප‍්‍රතිමාවට කැවීමයි. රෝස තිරුවානා බුද්ධ ප‍්‍රතිමාවෙනුත් හෙළිකරන්නේ අනන්ත බුදුගුණ සමුදායෙන් අංශුවක්.

පන්සලේ බෝරුක බුදුරුව – දාගැබ දැකීමෙන් ඇතිවන ශ‍්‍රද්ධාව මෙපමණයයි කියන්න බැහැ. ඒ ශ‍්‍රද්ධාව ගෙදරින් ලබන්න බැහැ. ගෙදර බුදු මැදුරෙන් ලබන්නත් බැහැ. එ නිසා පන්සලට ජනතාව නැඹුරුවීම ඉතාම වැදගත්.

පන්සලෙන් ජනතාව ඈත්වීම යනුවෙන් හඟවන්නේ යහපත් ගුණ ධර්මවලින් දුරස්තවීමයි. මිනිසා කෙරෙහි යහපත් ගුණාංග ඇතිවන්නට නම් පන්සලේ ඇසුර නිරායාසයෙන්ම ඇතිවිය යුතුය.

පෝදාට පමණක් නොවේ හැමදාම පන්සල් ඇසුර ලැබිම ඉතාම වැදගත්. මෙබඳු බුද්ධ ප‍්‍රතිමා දැක ශ‍්‍රද්ධාව උපදවා තමන්ගේ ජීවිත යහමඟට යොමු කරන්නට පන්සලේ ඇසුර අනිවාර්යයෙන් ලැබීම ඉතාම යෝග්‍යය යයිද අරම ධම්මතිලක නාහිමියෝ තවදුරටත් කීහ.

මේ අවස්ථාවට බියගම ශී‍්‍ර ල නි ප සංවිධායක අධිනීතීඥ සාලිත විජේසුන්දර, පෙර සිංහාධිපති කාශ්‍යප මහේන්ද්‍ර ද සිල්වා, අචාර්ය ජයන්ත ගුණසේකර, කොලොන්නාව නගර සභාවේ විපක්ෂ නායක සුරේෂ් කෝදාගොඩ, කේ. ඩී. පේමසිරි ආනන්ද, ඒ. මල්ලිකාරච්චිසහ සමන් විජේසුන්දර, නිෂානි පනාගොඩ, සන්දීපා සෙව්මිනි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

මේ අසිරිමත් බුද්ධ ප‍්‍රතිමාව වැද පුදා ගැනීම සඳහා විශාල පිරිසක් සහභාගි වීම ද විශේෂත්වයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා