ගමට-නගරයට සංවර්ධනය ගෙන යනවා මිස රජය පැළවෙන මුල්ගල් තබන්නේ නෑ

ගමට-නගරයට සංවර්ධනය ගෙන යනවා මිස
රජය පැළවෙන මුල්ගල් තබන්නේ නෑ

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්‍ෂ කොත්මලේ දී කියයි

ජනතා බලාපොරොත්තු ඉටු කරමින් සැබෑ ලෙසම සංවර්ධන වැඩසටහන් ගමට, නගරයට ගෙන එනවා මිස පැළවෙන මුල්ගල් තැබීමට නම් මේ රජය සූදානම් නැතැයි ජනාධිපති උපදේශක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කෙළේය.

ජාතික සවිය – ගම නැඟුම 2009 නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 468 ඩී බෝගහවෙල ආදර්ශ සමෘද්ධි ගම්මානයේ ඉකුත් 8 දා පැවැති උත්සවය අමතා බැසිල් රාජපක්‍ෂ මහතා එසේ කීය.


බෝගහවෙල ගම්මානයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගය අසල ඉදිකළ නාමපුවරුව ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා අතින් විවෘත වූ අවස්ථාව. ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ ඇමැතිවරුන් වන කුමාර වෙල්ගම, නවීන් දිසානායක, පවිත‍්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද මෙහි වෙති.
ඡායාරූපය: චමින්ද හිත්තැටිය

ගම නැඟුම 2009 වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය, ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යංශය, ශී‍්‍ර ලංකා සමෘද්ධි අධිකාරිය, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කොට මෙහෙයවීය.

බෝගහවෙල ග‍්‍රාමයට පිවිසෙන ප‍්‍රවේශ මාර්ග කිහිපයක් කොන්කී‍්‍රට් දමා සකසා තිබුණි. එමෙන්ම ඊ – නැණසල මධ්‍යස්ථානයක් ඉදිකොට තිබුණි. පෙර පාසල් අධ්‍යාපනය නංවාලීමට මධ්‍යස්ථානයක් සකස් කොට තිබුණි. මේවායින් කිහිපයක් බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කැරිණි.

අනතුරුව බෝගහවෙල ගම්මානයේ පැවැති ජනහමුව අමතා බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය.

මෙවර අයවැයෙන් දේශීය ආර්ථිකය, දේශීය ආයෝජකයා නඟාසිටුවීමට විශාල දිරිදීම් ප‍්‍රමාණයක් ලබා දී තිබෙනවා. අද ඒ ඒ යෝජනා විවිධ අමාත්‍යංශ විසින් කි‍්‍රයාවට නංවමින් ඉන්නේ. මේ රටේ අඩු ආදායම්ලාභී පවුල්වල කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම වැඩිදියුණු කිරීමට නොමිලේ පිරිසිදු දියර කිරි වීදුරුවක් දිනපතා ලබාදීමට අයවැයෙන් යෝජනා කළා.

අඩු ආදායම්ලාභීන්

අද ඒ යෝජනාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කි‍්‍රයාත්මකයි. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය, පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය එක්ව මේ ජාතික වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරනවා.

අද බෝගහවෙල ගමේ වයස අවුරුදු 2 සිට 5 දක්වා දරුවන්ට නොමිලේ කිරි ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. මේ රටේ ගම් 36000 ක් තිබෙනවා. ග‍්‍රාම නිලධාරී වසම් 14000 ක් තිබෙනවා. අප මේ හැම ගමක්ම එක සේ දියුණු කරන්න ඕනෑ. ගමේ තිබෙන සෞන්දර්ය ගැමිකම විනාශ නොකරයි අපි මේ දේ කරන්නේ.

සෑම පුද්ගලයෙක්ම, සෑම පවුලක්ම, සෑම ගමක්ම දියුණු කිරීම මහින්ද චින්තන දැක්මයි. අපි ඒ අනුවයි කි‍්‍රයා කරන්නේ. පුද්ගලයා ගොඩනඟා පවුලත්, පවුල ගොඩනඟා ගමත්, ගම ගොඩනඟා රටත්, රට ගොඩනඟා ලොව දිනන්නත් කටයුතු කරනවා. එයයි අපේ අවසාන ඉලක්කය.

නුවරඑළිය දිස්ති‍්‍රක්කය ලංකාවේ තිබෙන අඩු සංවර්ධිත දිස්ති‍්‍රක්කයක්. දිළිඳුකම වැඩිම දිස්ති‍්‍රක්කයක්. මාතෘ මරණ වැඩි, ළදරු මරණ වැඩි දිස්ති‍්‍රක්කයක්. සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් අඩු දිස්ති‍්‍රක්කයක්. එහෙත් කියන්න සතුටුයි, මේ රටේ අනිත් සියලු දිස්ති‍්‍රක්කවලට වඩා සම්පත් වැඩිම දිස්ති‍්‍රක්කය මෙයයි. ඉතාම රමණීය දිස්ති‍්‍රක්කයත් මෙයයි.

කැපකිරීම්

මේ දිස්ති‍්‍රක්කයේ ඕනෑම තැනක ඕනෑම දෙයක් වහා කරන්න පුළුවන්. වැවෙනවා. ජනතාව උනන්දු විය යුතුයි. අපි දන්නවා තමුන්නාන්සේලා දියුණු වෙන්න ආසයි. කැපකිරීම් කරනවා. වැඩිම මන්දපෝෂණයෙන් පෙළෙන පිරිසක් ඉන්නේ මෙහෙ. අපි ඒ තත්ත්වය දන්නවා. ඒ නිසා අපි මේ අවුරුද්දේ දී මුළු ආණ්ඩුවම, මුළු ඇමැති මණ්ඩලයම මේ දිස්ති‍්‍රක්කයේ දියුණුවට වැඩසටහන් කි‍්‍රයාත්මක කරනවා.

මේ මාසේ 14 වැනිදා මධ්‍යමයි, වයඹයි පළාත් සභා මැතිවරණ තිබෙනවා. තමුන්නාන්සේලාට එදාට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ජනාධිපතිතුමා, ආණ්ඩුව මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙළ හරිද? වැරදිද? කියලා කියන්න. ගම දියුණු කරන කොටියා පරද්දන වැඩපිළිවෙළ හරිද? මහින්ද චින්තන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරනවා හොඳද? නරක ද? කියන්න. තමුන්නාන්සේලා අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරන බව අපිට ඉර හඳ වාගේ විශ්වාසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නුවරඑළිය දිස්ති‍්‍රක් නායක සහ පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක මහතා - අපේ රටේ සෑම ගමක් ම, නගරයක් ම නව දර්ශනයක් අනුව, ගැම්මක් අනුව දියුණු වෙන්න පටන් අරන්. අපිට ඒ දර්ශනය ලබා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමා එදා 2005 නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලා අති බහුතරයක් ඡන්දය දී ඒ තනතුරට පත් කළා. ඒ ජනවරම නිසා තමයි අද මේ රට දෙකඩ වීම නැවතිලා. රට සංවර්ධනය වීම ඇරැඹිලා තිබෙන්නේ.

ආර්ථිකය වර්ධනය

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ තමුන්නාන්සේලා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. තේ කර්මාන්තයේ නියැළි සිටින තමුන්නාන්සේලාගේ දහදිය රටට විදේශ විනිමය ගෙන ඒමට දායක වෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා

මීට අවුරුදු 4කට අඩු කාලයක් තමුන්නාන්සේලා ලබා දුන් ජනාධිපතිවරණ ජනවරම මේ රටට විශාල ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් ලබාදීමට දායකවුණා. මම එහෙම කියන්නේ මේ ගම නැඟුම කොත්මලේට ගෙන එන්නවත්, ගමේ පාර හදාගන්නවත් නොවෙයි.

තමුන්නාන්සේලා එදා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති කෙළේ. එදා තමුන්නාන්සේලා දරුවාට කිරි වීදුරුවක් ගන්නවත්, සමෘද්ධිය, පොහොර සහනාධාර ගන්නවත් නොවෙයි මේ රටේ ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වාඩි කරවූ වේ.

එදා තමුන්නාන්සේලා ජනවරම දුන්නේ. මේ රට දෙකඩ කරන බෙදුම්වාදයට ත‍්‍රස්තවාදයට එරෙහිවයි. අපිට එක රටක් ලබා දෙන්න කියන ඉල්ලීම ඇතිවයි. දැන් ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවාද? නැද්ද? වයඹයි, මධ්‍යමයි අපි දිනනවා. ඊට පස්සේ බස්නාහිර. ඊට පස්නේ ඌව, දකුණ අපි දිනනවා. තව ඡන්ද ලබා දෙනවා. ඒවාත් දිනනවා.

ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධි ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය.

ජනාධිපතිතුමා, මුදල් ඇමැතිවරයා හැටියට මේ වසරේ අයවැයෙන් අපිට රුපියල් මිලියන 500 ක් වෙන් කළා. ලංකාවේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඉන්න අවුරුදු පහ දක්වා දරුවන්ට කිරි වීදුරුවක් නොමිලේ ලබාදෙන වැඩසටහන කි‍්‍රයාත්මක කරන්න. ඒ අනුව අපි එය දැනටමත් පටන් ගෙන ඉවරයි.

මන්ද පෝෂණය

අද කොත්මලේ බෝගහවත්ත ගමේ මේ වැඩපිළිවෙළ ආරම්භ කළා. අපි සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය කිරීමට මේ යටතේ බලාපොරොත්තු වෙනවා.

ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති අධිනීතීඥ නවීන් දිසානායක මහතා

දිවංගත ගාමිණී දිසානායක මාගේ අප්පච්චියි. මේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයට කොත්මලේ මිටියාවතේ ජනතාවට විශාල සේවයක් ඉටුකළා. එතුමා එදා කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය කි‍්‍රයාවට නැංවීමට ප‍්‍රබල දායකත්වයක් ලබා දුන්නා. මේ අලුත් සංවර්ධන යෝජනා ක‍්‍රම නිසා ඉඩම් අහිමිවූ ජනතාවට අලුතින් ඉඩම් දුන්නා.

මේ අවස්ථාවට කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර වෙල්ගම, තරුණ අභිවෘද්ධි ඇමැති පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මධ්‍යම පළාත් සභා මන්තී‍්‍රධූර අපේක්‍ෂක කුමාර දසනායක, ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. කේ. කේ. කුමාරසිරි ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ලේකම් එම්. සුමනදාස සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් දොස්තර නිහාල් ජයතිලක ශී‍්‍ර ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ බන්දුල තිලකසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා