වයඹ-මධ්‍යම ජය සන්ධානයටයි

වයඹ-මධ්‍යම ජය සන්ධානයටයි

- ඇමැති ඩලස් අලහප්පෙරුම

වයඹ හා මධ්‍යම දෙපළාතේ මැතිවරණ කොට්ඨාස හතළිහේම (40) ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ වන විටත් මැතිවරණ කොට්ඨාස 39 ක ජයග‍්‍රහණය සියයට සියයක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන බවට තහවුරු වී ඇතැයි පවසන අලහප්පෙරුම මහතා පවසයි.මහනුවර මැතිවරණ කොට්ඨාසයේ පමණක් පුංචි තරඟයක් තිබුණ නමුදු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) මහනුවර පැවැති ජන රැළියත් සමඟ මහනුවර ජයග‍්‍රහණය ද සන්ධානයට හිමිවීම වැළැක්විය නොහැකි යැයි ද කීවේය.

අලහප්පෙරුම මහතා මේ අදහස් පළ කෙළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙහෙයවීමෙන් කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක දීය.

මහනුවර මැතිවරණ කොට්ඨාසයේ එකම එක ආසනයක පමණක් පවතින මේ තත්ත්වය පුංචි යුද්ධයක් ලෙස හඳුන්වන්නේ එජාපය ට කරන ගෞරවයක් ලෙස යැයි ද අලහප්පෙරුම මහතා කීවේය.

දේශපාලන පක්‍ෂ මැතිවරණ වේදිකාවල කුමන දේ ප‍්‍රකාශ කළත් වයඹ හා මධ්‍යම දෙපළාත වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සකළ අංගයන්ගෙන් සමන්විත දියුණු සහ ගෞරවනීය මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගිය බව ද ඇමැතිවරයා මෙහි දී සඳහන් කෙළේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට වයඹ හා මධ්‍යම මැතිවරණයට අදාළව ජනාධිපති ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විජයග‍්‍රාහී මහා රැළි හයම පවත්වා අවසන් කර ඇතැයි ද ඒ මහතා ප‍්‍රකාශ කෙළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා