වවුනියාවේ සිට යාපනයට දුම්රිය මාර්ගය හදන්න සියලු ජාතීන් අත්වැල් බැඳගමු

වවුනියාවේ සිට යාපනයට දුම්රිය මාර්ගය හදන්න
සියලු ජාතීන් අත්වැල් බැඳගමු

- ඇමැති ඩලස් අලහප්පෙරුම

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දූරදර්ශී කි‍්‍රයා පිළිවෙත ආදර්ශයට ගෙන පොදු ජනතාවගේ අවශ්‍යතා කඩිනමින් නංවා ජනතාවට ආදරය කරන පිරිසක් නිර්මාණය කරමු යැයි ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.


වාරියපොළ නව බස්නැවතුම්පොළ ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විවෘත කළ අයුරු. වයඹ පළාත් සභා අපේක්ෂක එච්. එම්. ඩී. බී. හේරත් මහතාද මෙහි වෙයි.
ඡායාරූපය- වාරියපොළ මධ්‍යම සමූහ

ඒ අනුව වයඹ පළාතේ ජනතාවගේ ගමන් බිමන් ඉතා පහසුවෙන් කරගෙන යාම සඳහා වයඹ පළාතේ නව දුම්රියපළක් ඉදිකිරීමට කටයුතු කරන බවද ප‍්‍රවාහන ඇමැතිවරයා පැවැසීය.

ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා එසේ පැවැසුවේ වාරියපොළ නව දෙමහල් බස් නැවතුම්පළ ජනතා අයිතියට පවරා දීම සඳහා පැවැති රැස්වීමක් අමතමිනි.

වවුනියාවේ සිට කන්කසන්තුරේ දක්වා කිලෝමීටර් 169 ක් පමණ දුර ඇති දුම්රිය මාර්ගය යළි ඉදිකිරීමට ශී‍්‍ර ලාංකික සියලුම දෙනාගේ සහාය ලබා දෙන්නැයි ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

කොටි ත‍්‍රස්තවාදය තුරන් කර මේ රටේ සාමය, සමඟිය හා සහජීවනය ඇතිවෙමින් ජනතාවගේ අවශ්‍යතා ඉටුවෙන විට අපට එයින් ලැබෙන්නේ අසීමිත සතුටක්.

ගමේ පාර, පාලම්, බස් නැවතුම්පළවල්, දුම්රිය මාර්ග හැදෙන විට ගමේ වැව්, අමුණු සංවර්ධනය වන විට විශාල ජල ව්‍යාපෘති ඇතිවෙලා ගොවියාගේ කෙත්වතු සරුවෙලා.

අටුකොට පිරෙන විට රට එක්සේසත් වී එකම ධජයක් සෙවනේ සිටීමට හැකි වන විට අපිට ලැබෙන්නේ අසීමිත සතුටක් සහ සුවයක්.

මේ සම්පූර්ණ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවෙනවා. අපේ රටේ රණවිරුවන්ට හිමිවෙනවා. මෙවැනි නායකයන් නැවත බිහිවෙන්නේ නැහැ. අද ජනාධිපතිවරයා ජනතාවගේ පොදු අවශ්‍යතා හැඳිනගෙන තිබෙනවා.

කොටි ත‍්‍රස්තවාදී සටන වෙනුවෙන් මුදල් වැය කරද්දී මේ රටේ සංවර්ධන කටයුතු විශාල වශයෙන් සිදුකෙරෙනවා. මෙවැනි ශීඝ‍්‍ර ලෙස සංවර්ධන වෙන රටවල් ලෝකයේ නැහැ.

අපේ ජනතාවට ප‍්‍රශ්න නැතුවා නොවෙයි. රජයේ සේවකයන්ට ප‍්‍රශ්න තිබෙනවා. දරුවන් ඇතුළු සියලු ජනතාවට ආර්ථික ප‍්‍රශ්න දැනෙනවා.

වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ සභාපති වයඹ පළාත් සභා අපේක්‍ෂක ඩී. බී. හේරත් මහතා - අද වාරියපොළ ජනතාවට සිහිනයක් සැබෑ වීම පිළිබඳව සන්තෝෂ වෙනවා. කාලයක් පටන් වාරියපොළ මැතිවරණ කොට්ඨාසයට අඩුපාඩුවක් වී තිබුණු නව බස් නැවතුම්පළ ජනාධිපතිතුමාගේ සහයෝගය හා උත්සාහයෙන් අද වාරියපොළ ජනතාවට මහඟු සේවයක් ඉටු වී තිබෙනවා.

ඒ ගෞරවය ප‍්‍රණාමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවෙනවා.

මෙතෙක් ආ දුෂ්කර ගමන් මඟට ආශීර්වාද කරන්න වාරියපොළ සංඝරත්නයේ ආශීර්වාදය හා වාරියපොළ ජනතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබුණා.

වයඹ පළාත් සභා මැතිවරණයෙන් අපේ අරමුණ වී තිබෙන්නේ සියලුම ජනතාවගේ ආරක්‍ෂාව සඳහා කරන ලද මානුෂීය මෙහෙයුම් කරගෙන යාමට ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා