වයඹ - මධ්‍යම ජන්දයේ දී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඩුයි

වයඹ - මධ්‍යම ජන්දයේ දී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඩුයි

මැතිවරණ නිරීක්ෂණ ආයතන කියයි

පසුගිය පළාත් සභා මැතිවරණ තුනට වඩා වයඹ හා මධ්‍යම පළාත්සභා මැතිවරණයේ දී මැතිවරණ නීති කඩ කිරීම් සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉතා අඩුවෙන් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ආයතන පවසයි.

නැඟෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණයට අදාළව නීති උල්ලංඝනය කිරීම් හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඊට පෙර පැවැති මැතිවරණවලට වඩා වැඩි වශයෙන් වාර්තා වී තිබිණි.

පිටපළාත්වලින් මැතිවරණ පැවැති ප‍්‍රදේශවලට ගොස් සිටි පිරිස් හා දේශපාලනඥයන්ගේ ආධාරකරුවන් නීති කඩකිරීම් හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට වැඩි වශයෙන් චෝදනා ලැබූ බව ද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන කියයි.

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුව පසුගිය 5දා වන විට වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා පැවැත්වෙන මැතිවරණවලට අදාළව මැතිවරණ නීති කඩ කිරීම් අවස්ථා 49ක් පමණ වාර්තා වී ඇත.

එම සිදුවීම් ද ඉතා සුළු සිදුවීම් බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ සහ පුත්තලම දිස්ති‍්‍රක්කයේ සිද්ධින් 9 බැගින් ද මධ්‍යම පළාතේ නීති උල්ලංඝනය කිරීම් 31ක් ද වාර්තා වී ඇත.

නුවරඑළියෙන් 16ක්ද, මහනුවරින් 9ක්ද, මාතලෙන් 6ක්ද වාර්තා වී ඇතැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පැමිණිලි 17ක්ද, එක්සත් ජාතික පක්ෂය පැමිණිලි 17ක් ද, ජනතා විමුක්ති පෙරමුණ පැමිණිලි 8ක්ද, කම්කරු කොන්ග‍්‍රස්පක්ෂයෙන් පැමිණිලි 14ක් හා පුද්ගල පැමිණිලි 3ක් ද වශයෙන් දැනට පැමිණිලි ඉදිරිපත් කැර ඇතැයි ද ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය කීවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා