ශ‍්‍රී ලංකාව ගැන බොරු ප‍්‍රචාරයට මාධ්‍යවේදීන් 30ක් ගෙන්වයි

ත‍්‍රස්තවාදයට නිසි පිළිතුරු දුන් ජනපති අනෙකුත් අර්බුද කඩිනමින් විසඳනවා

- ඇමැති ඩලස් අලහප්පෙරුම

ශ‍්‍රී ලංකාවේ සංකීර්ණම අර්බුදය වූ ත‍්‍රස්තවාදයට නිසි පිළිතුරු ලබා දී ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ආර්ථික, අධ්‍යාපන, ප‍්‍රවාහන සෞඛ්‍ය ඇතුළු අනෙකුත් අර්බුදවලට ඉදිරියේ දී ප‍්‍රායෝගික පිළිතුරු සපයනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.


මහවැලි කේන්ද්‍රයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවේදී ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ අයුරු. මේ අවස්ථාවට සහභාගි වූ අපනයන සංවර්ධන හා අන්තර් ජාතික වෙළෙඳ්‍රම් පිළිබඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්
 මහතා ද මෙහි වෙයි.
ඡායාරූපය - තුෂාර ප‍්‍රනාන්දු

මෙරට හැම ජනාධිපතිවරයෙකුම සේනාධිනායකවරුන් ලෙස කටයුතු කළත්, ඊළාම් යුද්ධය පැරැදවීමට සමත් නොවූ බව කී අලහප්පෙරුම මහතා එල්. ටී. ටී. ඊ. ය පරාජය කැර ත‍්‍රස්තවාදය මෙරටින් අතු ගා දැමීමට ක‍්‍රියා කළ එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව ද කීය.

යුද වෙහෙසකින් හා ආතතියකින් පසු වූ මෙරට හමුදාවන් ජයග‍්‍රහණය වෙත ගෙන යාමට අවශ්‍ය ධෛර්යය, සම්පත්, වැය හා සිතිවිලි පෙළ ගැස්සවීමට ක‍්‍රියා කළ එකම රාජ්‍ය නායකයා ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව ඇමැතිවරයා සඳහන් කෙළේය.

අලහප්පෙරුම මහතා මේ අදහස් පළ කෙළේ ඊයේ (10) කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේ අපේ හමුදාවට දිනන්නට නොහැකියි යනුවෙන් මතු කර තිබූ මතය වෙනස් කිරීමට ආදර්ශවත් නායකයෙක් ලෙස ජනාධිපතිතුමා තමන්ගේ පුතාව හමුදාවට පරිත්‍යාග කළ බවයි.

එමඟින්, හමුදාවට තරුණයන් නොබැඳෙන බවට වූ පසුගාමී බලය ඉවත් කිරීමට ද හැකි වූ බවත් ඇමැතිවරයා කීවේය. මේ වන විට ජනාධිපතිවරයාගේ පුතා ද ති‍්‍රකුණාමලය මුහුදේ ඩෝරා යාත‍්‍රාවක රට වෙනුවෙන් සටන් කරන බවත් හෙතෙම පැවැසීය.

ඇමැතිවරයා මෙසේද කීවේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණයක් ළං වූ හැම අවස්ථාවකදීම වගේ මෙවරත් කට වරද්දාගෙන තිබෙනවා. රණවිරු ජය දෙස බල බලා සන්ධානයට ඡන්දය දීම දෙවියන් දෙස බල බලා යක්ෂයාට පූජා වට්ටිය දීම වගේ වැඩක් කියලා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශයක් කරලා තිබෙනවා. වික‍්‍රමසිංහ මහතා දන්නේ නැහැ අපි දෙවියන්ට දෙන්නේ පින් විතරයි කියලා.

යක්ෂයන්ට දෙන්නේ දොළ පිදේනි පමණයි. ප‍්‍රභාකරන් නමැති යක්ෂයාට රනිල් වික‍්‍රමසිංහ මහතා දොළ පිදේනි ලෙස අපේ රටෙන් කොටසක් ලියා දීපු කාලයක් තිබුණා. අද ඒ යක්ෂයාගේ ග‍්‍රහණයෙන් ජනාධිපතිතුමා රට බේරාගෙන තිබෙනවා.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අපේ රටේ ක‍්‍රියාත්මක කළ ක‍්‍රියාමාර්ග අද ලෝකයේ සියලු රටවල් කොන්දේසි විරහිතව පිළි ගෙන තිබෙනවා. ඒවා අගය කරනවා. මේ නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා විපක්‍ෂයේ මේ වැරැදි වචනවලට රැවටෙන්න එපා කියලා.

කවුරු මොන දේ කියා සිටියත් මේ යුද ජයග‍්‍රහණ හෝ මැතිවරණ ජයග‍්‍රහණ ලඝු කර දක්වන්නට කිසිවෙකුටත් බැහැ.

අපනයන සංවර්ධන හා අන්තර්ජාතික වෙළෙඳ්‍රම් පිළිබඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා - අද වන විට මුළු ලෝකයම ලංකාව දිහා අවධානයෙන් බලාගෙන සිටිනවා. මීට පෙර සමහර රටවල් දැනගෙන හිටියේ නැහැ ලෝක සිතියමේ ලංකාව කොහේද තියෙන්නේ කියලා.

එහෙත් අද ලංකාව ගැන කතා කරනවා. යුද්ධය ජයග‍්‍රහණය පිළිබඳ කතා කරනවා. පසුගියදා ලෝකයේම ජනප‍්‍රියතාවක් උසුලන වෝල් ස්ටී‍්‍රට් ජර්නල් සඟාවේ කතුවැකියේ අපේ රට ගැන සඳහන් කර තිබුණා.

යුද්ධය ජයග‍්‍රහණය කළ රට මොකක්ද කියලා ඇසුවොත් වචන දෙකයි. ඒ ශ‍්‍රී ලංකාව කියලා.

අපේ ජනාධිපතිතුමාට යුද්ධය පමණයි කරන්න පුළුවන් කියලා චෝදනා කරනවා. දශක ගණනාවකට බැරි වුණ දේ කළ එකම නායකයා බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත්වෙනවා. ආර්ථික කඩා වැටීමත් සමඟ අමෙරිකාවේ රැකියා 598000 ක් චීනයේ කර්මාන්ත 67000ක් කඩා වැටිලා.

එහෙත් අපේ රටට එවැනි ගැටලු මතු වූයේ නැහැ. එහෙම නොවුණේ හොඳ ආර්ථික කළමනාකරණයක් තිබුණ නිසා.

විදුලි බල ක්ෂේත‍්‍රයේ ව්‍යාපෘති 640ක්, කිසිම රජයකට කිරීමට නොහැකි වූ කොන්කී‍්‍රට් පාරවල්, උමා ඔය, දැදුරු ඔය වැනි විශාල ව්‍යාපෘති රැසක් රජය මේ වන විට කර තිබෙනවා. 1948 අපේ රටට නිදහස ලබන කොට ඒක පුද්ගල ආදායම වැඩිම රට තමයි ශ‍්‍රී ලංකාව. යුද්ධ නිසා ආයෝජකයන් පැමිණීමට කැමති නැහැ. ඒ මගින් ආයෝජන ගලා ඒම නතර වුණා.

එහෙත් අද වන විට ආයෝජන අරන් අපේ රටට එන්න විදේශිකයන් බලාගෙන සිටිනවා. රටට ස්ථිර සාමයක් ලබා දුන්න ගමන් යුද්ධයට පමණක් නොව ආර්ථිකයටත් දක්‍ෂ බව පෙන්වන්න සූදානමින් සිටින බවද හෙතෙම කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා