සමහර අන්තර්ජාතික සංවිධාන කොටියාට පණ දෙන්න හදනවා

සමහර අන්තර්ජාතික සංවිධාන කොටියාට පණ දෙන්න හදනවා

- ගුණදාස අමරසේකර

විවිධ අන්තර්ජාතික නියෝජිතයන්, තානාපති කාර්යාලවල නිලධාරීන්, සමහරක් රාජ්‍ය නොවන සංවිධානවල කි‍්‍රයාකාරීන් අවසන් මොහොතේ හෝ එල්. ටී. ටී. ඊ. ය රැක ගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

ගුණදාස අමරසේකර මහතා එසේ ප‍්‍රකාශ කෙළේ ඊයේ (10) කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සංවිධානය කැර තිබූ උද්ඝෝෂණයට සහභාගි වෙමිණි.

විදෙස් රටවල් සහ නියෝජිතයන්, උතුරු ප‍්‍රදේශයේ හමුදාවන් සිදු කරන මානුෂික මෙහෙයුම්වලට කරන විවිධ බලපෑම්වලට විරෝධය දැක්වීම සඳහා මේ උද්ඝෝෂණය පැවැති අතර විදෙස් රටවල් එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත නවතා ලන ලෙස එම රටවලින් තම සංවිධානය ඉල්ලා සිටින බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

විදෙස් සංවිධාන නියෝජිතයන් මානව හිතවාදී ලෙස කටයුතු කරනවා නම් මේ අවස්ථාවේ එල්. ටී. ටී. ඊ. ප‍්‍රදේශවල රඳවාගෙන සිටින සාමාන්‍ය ජනතාව වහාම මුදාහරින ලෙස එල්. ටී. ටී. ඊ යට බලපෑම් කළයුතු බවත් වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

එසේම විදෙස් රටවල කි‍්‍රයාත්මක වන කොටි හිතවාදී සංවිධාන තහනම් කරන ලෙස ඔවුන් තම රටවල පාලකයන්ට බලපෑම් කළයුතු බවත් සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමි - එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමට බටහිර සමහර සංවිධාන උදවු කැර ඇති බව අද ඔප්පු වී තිබෙනවා. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් මේ වන විට විශාල මිනිසුන් සංඛ්‍යාව ඝාතනය කැර තිබෙනවා.

අද ඇතැම් සංවිධාන පුද්ගලයන් කොටියාව ආරක්ෂා කරන්න හදනවා. බටහිර ගැති පුද්ගලයන් ත‍්‍රස්තවාදය ආරක්ෂා කැර ගැනීම සඳහා කි‍්‍රයාත්මක කරන වැඩ පිළිවෙළ අපි හෙළිදරව් කළ යුතුයි. ඔවුන්ගේ වෙස් මුහුණු ගැලවිය යුතුයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කරන නිවැරැදි ප‍්‍රතිපත්තිය අපට ශක්තියක්.

මේ අවස්ථාවට සහභාගිවූ පිරිස් “මිලි බෑන්ඩ් සුදු කොටියා - කළු කොටින්ගෙ ඉටු දෙවියා”, “හිලරි හිලරි – කැතයි කැතයි ඩබල් ගේම් කැතයි කැතයි” වැනි පාඨ කියමින් උද්ඝෝෂණය කළ අතර මේ සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා