කොටි හඬ නිහඬයි - ජන හඬ රැව්දෙයි

කොටි හඬ නිහඬයි - ජන හඬ රැව්දෙයි

රටට සාමය උදාකරල අපේ හිමිකම් නැවත අපිට ලබා දුන් ජනාධිපතිතුමාටත්, ගුවන් හමුදාවටත් අපි හැමදාම ගෞරව කරනවා. ත්‍රස්තවාදය නිසා අපි අවුරුදු දහඅටක් හොරොව්පතානෙ කඳවුරක කිසිම දෙයක් නැති අසරණයන් ලෙස ජීවත් වුණා.

ත්‍රිකුණාමලය දහයේ කණුව ප්‍රදේශයේ පදිංචි හැට දෙක හැවිරිදි මාකස් පීරිස් මහතා සිය අදහස් පළකළේ ඒ අයුරිනි. එක් පාදයක් අහිමි හෙතෙම රෝද පුටුවක පිහිටෙන් එළිපෙහෙළියට යන්නෙකි.

බලාපොරොත්තු පිරුණු දෑසින් බලා සිටින ඔහුගේ දෙනෙත් අගට පුංචි කඳුළු බිඳුවක් නැගී ආවේය. එය සුරතේ පිටි අල්ලෙන් පිසදා ගත් මේ වියපත් පුද්ගලයා අප හමුවේ අතීතය සිහිගැන්වීය.

“මගෙ මේ කකුල ගියේ කොටි අටවල තිබුණ බට්ටෙක් පෑගිලා. මට හොඳට මතකයි ඒ 1990 ජූනි 26 දා. මම ගොවිතැන් වැඩ ඉවර වෙලා වැවට නාන්න ගියා වැව් බන්ට් එකේ පුද්ගල නාශක බෝම්බය අටවලා තිබුණේ.

මාව බෝම්බෙන් තුවාල වෙලා රෝහල් ගත කළාට පස්සෙ ආයේ ගමට ආවෙ නෑ. ගෙදර අය එක්ක එහෙමම ටිකට් කපාගෙන ගියෙ කඳවුරට. කරන්න දෙයක් තිබුණෙ නැහැ. පාදයක් අහිමි නිසා හරි හම්බ කර ගන්න හැටියකුත් නැති නිසා මැරෙනකම් කොහොම හරි ඔහෙ හිටියා. බලාපොරොත්තු තිබුණෙ නැහැ. කාලයක් යනකොට හිතුණා මැරෙන්න වෙන්නෙ සරණාගතයො විදිහට කියලා.”

මහින්ද රාජපක්‍ෂ මහත්තය ජනාධිපති නොවුණා නම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ආරක්‍ෂක ලේකම් නොවුණා නම් අපි තාම අනාථ කඳවුරුවල ගාල්වෙලා. අපේ වාසනාවට ඒ අය පත් වුණේ.

යුද්ධය ඉවරයි කියල දැනගත්ත ගමන් අපේ ඉඩකඩම්වලට අපි ආවෙ ආයෙමත් බලාපොරොත්තු ඇතිව ජීවත් වෙන්න. ගොඩ ඉඩම් හා මඩ ඉඩම් දෙකම අපට මෙහෙ තියෙනවා. ඇවිත් අවුරුද්දක් ගතවෙලා.

අපි මෙහෙට එන විට කන්නෙ බොන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි වුණා. ගුවන් හමුදාව අපිට පානීය ජලය බවුසර්වලින් ගෙනත් දුන්නා. වියළි ආහාර කුඹුරු කරලා ගෙට ගන්නකම්ම දුන්නා. තවමත් අපිට හැමදේම වගේ සපයන්නෙ මේ අය. බෙහෙත් හේත්, දරුවන්ට පාසල් පොත්පත්, ඇඳුම් හැමදේම ඒ අය ලබා දෙනවා. අපිව ආරක්‍ෂා කරනවා. හැමදාම මේ අය අප සමඟ ඉන්නව නම් හොඳයි.

මගෙ නෝනා, දුව, මිණිපිරී හැමෝම අපේම ඉඩකඩම්වල අද ජීවත්වෙනවා. අපේ උරුමය ආයෙ ලබා දුන්නට හමුදාවටත්, රජයටත් ස්තූතිවන්ත වෙනවා.

එදා අපි වවලා තිබුණ ගහකොළ කොටි විනාශ කරලා. වටිනා කිසිම දෙයක් ඉතිරි කරලා නෑ. පොල්, කොස් විතරක් නෙවෙයි වටිනා ගස් වර්ග සියල්ල උන් කපා දාලා නිවාස, ඇළවේලි සියල්ල විනාශ කරලා මේවා මුඩු ඉඩම් බවට පත්කරලා. ආණ්ඩුව, ගුවන් හමුදාව ඒව ආයෙත් හදනවා. බට්ටගෙන් එක කකුළක් අහිමි වෙච්ච මට මේ රෝද පුටුව පවා දුන්නෙ ගුවන් හමුදාවෙ සේවා වනිතා එකෙන්.

කොටි අපෙන් උදුරාගත් හැමදේම මේ අයට දෙන්න බැරි වුණාට අපට නැවත ජීවිතයක් ලබා දී තිබෙනවා.

මේ කතාබහට ත්‍රිකුණාමලය, මොරවැව, දහයෙ කණුව, නාමල්වත්ත ඇතුළු නැගෙනහිර පදිංචි බොහෝ පිරිසක් එක්වූහ.

එහිදී 27 හැවිරිදි කේ. දේවිකා ප්‍රනාන්දු මහත්මිය ද සිය අදහස් පළකිරීමට එක්වූවාය.

අපි මට්කෝ (මහා මායාපුර) හිටියෙ. මෙහෙන් ගියෙ පොඩි කාලෙ. මගෙ මහත්තයත් මොරවැව ඉපදිලා තියෙන්නෙ. එයාගෙ ගෙවල් මෙහෙ. ත්‍රස්තවාදී නැහැ කියලා දැනගත්තට පස්සෙ අපි මෙහෙ ආවෙ. ඒ වන විට අපිට ජීවත්වෙන්න පහසුකම් කිසිම දෙයක් තිබුණෙ නෑ. අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අයට පාසලක් තිබුණෙ නෑ.

මුල් යුගයේ මෙහෙ තිබුණ පාසල් රජයේ හා ගුවන් හමුදාවේ පිළිසකර කිරීම්වලින් පස්සෙ දැන් පැවැත්වෙනවා. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නෙලුම් ගුණතිලක මහත්මිය අපේ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ පෙර පාසල් බොහොමයක් මේ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙනවා. අලුත් පාසලකුත් මේ වන විට මොරවැවේ ඒ අය හදනවා.

වවුනියාව පුවරාසකුලම් හි පදිංචි භාරදී අම්මා (70) අපේ කතාබහට එක්වූවාය. “ගුවන් හමුදාවේ මහත්තුරු අපිට බොහොම කරුණාවෙන් අවශ්‍ය දේ දෙනවා. ඒත් අපිටම කියලා ජීවත්වෙන්න ක්‍රමයක් අපේ දරුවන්ට රැකියා ලැබෙනකම් අපි බලා ඉන්නෙ. ත්‍රස්තවාදී නිසා අපි වින්දෙ අපා දුකක්. දැන් නම් නිදහසේ ඉන්නවා. අපි එදා අවතැන් වුණා. දැන් අතේ සල්ලි නෑ. හම්බ කරන්න විදියක් නෑ. මම නම් වයසයි. අපේ දරුවන්ට රස්සා තියෙනවා නම් හොඳයි. හැමදේම ඉල්ලන්න අපිට බෑනෙ. අපි මුදාගෙන සාමය උදාකළා වගේ ඉක්මනින් මේ ප්‍රදේශය දියුණු කරලා රැකියා කරන්න, ලබා දෙන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

බේබිසරා නමැත්තා ද මේ කතාබහට එක්වූයේ මෙලෙසය.

“අවුරුදු ගාණකට පස්සෙ ගම්මු හැමෝම එකතුවෙලා අවුරුදු උත්සවයක් පවත්වන්න 2010 දී තමයි හැකි වුණේ. ගුවන් හමුදාවෙ මහත්තුරු තමයි මේ උත්සවේ පවත්වන්න උදව් වුණේ. හරිම සතුටක් පී‍්‍රතියක් වගේම නිදහස් බවක් අපි භුක්ති විඳිනවා. මේ සාමය සතුට හැමදාම ආරක්‍ෂා කැර දෙන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.”

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා