මානුෂීය මෙහෙයුමේ වාර්තාකරණය

මානුෂීය මෙහෙයුමේ වාර්තාකරණය කළ ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ රූපවාහිනි ආයතන වෙනුවෙන් කැපවී ක්‍රියා කළ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් මෙසේ දිගහැරේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදකයකු, නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ සමන් කුමාර රාමවික්‍රම ආරක්ෂක පුවත් වාර්තාකරුවකු ලෙස “ජයසිකුරු”, අග්නිඛීල හා “කිණිහිර” වැනි මෙහෙයුම්වල එක් විය. මෙවර මානුෂීය මෙහෙවරේද ඔහුගේ මෙහෙවර කැපීපෙනුණී.

සමන් කුමාර රාමවික්‍රම

- ජාතික රූපවාහිනිය

මේ යුද්දේ දිනන්න බැරි එකක් කියලා මතයක් තිබුණා. අවුරුදු 30 ක්ම ඒකෙන් දුක්වින්දෙත් ඒකනේ. අපි යුද්දේ වාර්තා කළේ යුද පිටියේ සෙබළුන් එක්කම කරට කර ඉඳලා. අපි මේක “වන්නි මෙහෙයුම” කියලා නම් කළෙත් මානුෂීය මෙහෙවරට නමක්වත් නොතිබුණු මොහොතකදී මාවිල් සොරොව්වේ සිට අවසානයේ නන්දිකඩාල් කළපුව දක්වාම දරුණු ලෙස සටන් පැවැති තැන්වල ඒවා වාර්තා කළා.

යුද පුවත් වාර්තාකරණයට අලුත් යමක් එකතු කරන්න අපිට පුළුවන් වුණා. අපි තාක්ෂණික අභියෝග රාශියක්ම ජයගත්තා. ඒ වගේ ම දෙස් විදෙස් බලවේගවල බලපෑම්වලින් අපේ ගමන නවත්වන්න බැරි වුණා.

අපි ඉදිරියට ඇවිල්ලා හැම දෙයක්ම ඇත්ත ඇති සැටියෙන් හෙළි කළා. ඒක හමුදාවටත් ඉදිරියට යෑමට ලොකු ශක්තියක් වුණා. මේ වෙඩි හඬ නිහඬ කරවන මොහොතයි.” බර අවිවල හඬ නිහඬ කරවන මොහොත ගැන මම ලෝකෙට ම කිව්වා. ඒ වගේ ප්‍රකාශයක් කියන්න ලැබීම මගේ මාධ්‍ය ජීවිතයේ ජයග්‍රහණයක්.

ඒත් අපේ මෙහෙවර මෙතනින් ඉවර වෙන්නේ නෑ. ජාතියක් විදියට ඉදිරියට යන්න ඕන.

විශාල අඩුපාඩුකම් තියන පාරවල්, පාලම්, පාසල්, විදුලිබලය, ජලය වගේ දේවල් සංවර්ධනය වෙනවා. අද උතුරෙන් දකුණට යනවා. දකුණේ පිරිස් උතුරට යනවා. මේක සුහදත්වය, මිත්‍රතත්වය වගේම නැදෑකම් අලුත්කරන කාලයක්. මේ ප්‍රතිඵල ගැන අපට සතුටුයි. එයාලා අද පිළිගන්නවා නොදැක්ක සිංහලයෙකුට විරුද්ධවමයි අපි සටන් කළේ කියලා. හැම ජයග්‍රහණයකදීම මගේ සාක්කුවේ තිබුණු ජාතික කොඩිය අරගෙන එසවූවා. ඒ වගේ අපි ජාතියක් වශයෙන් එකට හිටගන්න කාලේ ඇවිල්ලා.

අශෝක වීරසිංහ දෙරණ ටීවී ඔස්සේ යුද පුවත් වාර්තා කළ අයුරු දුටුවත්, ඒ වෙනුවෙන් ඔහු කළ පරිශ්‍රමය නොදකින්නට ඇති. ඔහු සමග කැමරාව හසුරුවන්නට එක්වන්නේ සම්පත් සේරසිංහයි.

අශෝක වීරසිංහ

- දෙරණ රූපවාහිනී

මට ඉස්සරවෙලාම එන්න ලැබුණේ දරුණු සටන් පැවති මූහමලේට ශ්‍රී ලංකා හමුදාවේ වගේම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මේ බිමේදී මියගියා. හිතාගන්නවත් බැරි අධිබලැති ආයුධ පාවිච්චි කරපු ලෝකයම මවිත කළ ත්‍රස්තවාදීන් සමීපයට අපි අරගෙන ගියේ කැමරාවයි. මයික් එකයි විතරයි. මේක බැරෑරුම් වගකීමක්.

තාක්ෂණය වගේම අනිත් හැම පහසුකමක් ම තිබුණේ අවමයේ. ඒත් අපි කියන හැම සම්පතකින්ම උපරිම ප්‍රයෝජන අරන් අපේ වගකීම ඉෂ්ඨ කළා. අපට ලොකු අවබෝධයක් තිබුණේ නෑ යුදවාදී පරිසරයක මාධ්‍යයක වගකීම මොකක්ද කියලා.

සමහර වෙලාවට ආචාර ධර්ම, මාධ්‍ය සදාචාරය, හමුදා නීතිරීති වගේ දේවලින් පවා අපටම වාරණයන් දාගන්න සිදුවුණා. ඒත් කිසිම අවස්ථාවක අපි එකට හිටපු මාධ්‍යවේදීන්ට චෝදනා එල්ල වුණේ නෑ. ඒකත් ලොකු ජයග්‍රහණයක්.

දෙස් විදෙස් බලවේගවලට හොඳම පහර වැදුණේ් මාධ්‍ය මෙහෙවරේදී ඇත්ත හෙළි කිරීමයි. අපිට අත්දකින්න ලැබුණු සුවිශේෂීම දේ තමයි මෙතරම් දරුණු යුද්ධයක් තිබියදීත් හැකි හැම ආකාරයෙන්ම ජීවිත දස දහස් ගණනාවක්ම බේර ගන්න දරපු ප්‍රයත්නය.

අපේ මාධ්‍ය මෙහෙවරේ එක කොටසක් පමණයි එතනදී ඉවර වුණේ. යාපනයට නැගෙනහිරට සංවර්ධනය ගලායද්දී අපි අපේ සුහදත්වය, ඥාතිත්වය මිතුරුකම අරන් යනවා. අවුරුද්දක් ගියාට පස්සේ අපි දකින්නේ ලස්සන මුහුණු ටිකක්. අපි අත්විඳින්නේ සැනසිල්ලක්. මාධ්‍යයට පැවරෙන්නේ සමාජ කාර්යභාරය වෙනුවෙන් පෙරමුණ ගැනීම.

කැළුම් ගුණතිලක

- ස්වාධීන රූපවාහිනිය

කැළුම් ගුණතිලක යුද පුවත් වාර්තාකරණයට එක් වන්නේ ධ්ඊව් සහාය නිෂ්පාදකවරයෙකු වශයෙන් කටයුතු කරන අතරයි. සුරංජිත් දේශප්‍රිය කැමරාව හසුරුවමින් ඔහුට සහාය වේ.

යුද්දේ නිසා දුක් විඳපු මිනිසුන්ව අපි දැක්කා. ඇත්තටම කියනවා නම් මුලින් අපි හිතුවා මාර කරුමයක්නෙ මේ මිනිස්සු විඳින්නේ කියලා. මඩු බේරාගන්න සටනේ ඉඳලා දිගටම වාර්තා කළා.

තාක්ෂණය පවා හරිම අමාරුවෙන් සපයා ගත්තේ. ලයිට් නෑ. ඉන්ටනෙට් ගන්න අමාරුයි. සමහර තැන්වලදී අපි වොයිස්කට් ගත්ත කෙනා ඊළඟ විනාඩියේදී ජීවතුන් අතර නෑ. හයදාහක් මැරුණු 27000 ක් තුවාල වුණු යුද්ධයක අපි ඉදිරියේම ඉඳලත් කිසිම හානියක් නැතුව ආපු එකම පුදුමයක්.

අපිත් අවස්ථා ගණනාවකින්ම මරණයෙන් බේරුණා. අපිත් හමුදාව එක්ක අව් වැසි නොබලා කළ මාධ්‍ය මෙහෙවරක්. ඒත් අවුරුද්දක් යන කොට සමහර අයට මේ කැප කිරීම් අමතකයි. අපට නම් මේක කවදාවත් අමතක කරන්න බෑ.

ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ දැන් උතුරට ගලා යනවා. අද අපට නාගදීපයට යන්න පැය 24 පුරාම පාරවල් විවෘත වෙලා තියෙනවා. ඒක දැක්කාම සතුටුයි. හැමෝම ට්‍රිප් යන්නේ යාපනේ. ඒ වගේම උතුරේ ඉන්න පිරිසටත් කොළඹට එන්න අවස්ථාව උදාකර දෙන්න ඕන. ඒ අයට අපි හැමෝම එකම රටක එකම පිරිසක් කියන විශ්වාසය ගොඩනංවන්න ඕන. ඒක කරන්න පුළුවන් මාධ්‍යයට පමණයි. ඒ වගකීම රැදෙන්නෙත් මාධ්‍යවේදියා වෙතමයි.

අමල් සමන්ත

- ජාතික රූපවාහිනිය

මානුෂීය මෙහෙවරට ජාතික රූපවාහිනියෙන් එක්වූ තවත් මාධ්‍ය සගයෙක් වන්නේ අමල් සමන්තයි.

ඒ වගේ අත්දැකීමක් මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතනවලට තිබුණේ නෑ. මාවිල්ආරු මුදාගැනීම සිට වන්නි මෙහෙයුම දක්වාම රණවිරුවන් එක්ක කරට කර ඉන්න අපට පුළුවන් වුණා. යුද පිටියේදී පවා අපිත් පෙරමුණේ ම හිටියා. අපි මරණය දැක දැක ඒකටත් අභියෝග කළ පිරිසක්. 6000 ක් මරණයට පත්වෙද්දි 27000 ක් තුවාල වෙච්ච මහා සටනේදී බරපතළ තුවාලයක් හෝ නොලබාම අපි මාධ්‍ය මෙහෙවරේ නියැලුණා. ඒක තමා අපි ලබපු ලොකු ම ජයග්‍රහණය.

කැමරාව මෙහෙයවමින් ගිය අශෝක පි‍්‍රයන්ත, සුගත් ඩයස්, තුෂාර රාජකරුණා විටින් විට අපි එක්ක එකතු වුණා.

සමහර තැන්වලදී මෝටාර් පුපුරන්නේ අත ළඟ. සමහර අවස්ථාවල සතුරන්ට පවා අපිව ඉලක්ක වුණා. අපට යුද වාර්තාකරණය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් තිබුණේ නෑ. අපි ඒ අත්දැකීම ලබාගත්තේ යුද පෙරමුණට ම ගිහින්.

අපි මේ වගකීම් සහගත දේ කළේ අපහසුතා මැද්දේ. දෙස් විදෙස් විවිධ බලපෑම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. තාක්ෂණික බාධා, පාරිසරික බාධා මේ හැම අභියෝගයක් ම ජයගෙන අපි ලෝකෙටම ලොකු ආදර්ශයක් දුන්නා. ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේ සිට පහළ ම නිලධාරියා දක්වා ම අපට සහාය දැක්වූවා.

අද මේ රටේ 75% ක් ම යාපනයට ගිහින් ඇති. උතුරු නැගෙනහිර පළාත්වල තියෙන්නේ වෙනමම විශේෂිත පරිසරයක්. ඒ ප්‍රදේශවල එක එක තැන්වල විවිධ වෙනස්කම් තියනවා. අද රටේ සාමාන්‍ය මිනිස්සු ඒ බිම් දකිනවා. ඒ – 9 පාර පැය 24 පුරාම ඇරලා. උතුර අද සංවර්ධනයේ අරුණළු දකිමින් සිටිනවා. ඇත්තටම මේක ප්‍රාතිහාර්යයක්. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදුණු කාලය දැන් ඉවරයි. ඒ අය තුළ ජාතිකත්වය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමේ කාර්යය අපට පැවරිලා තියනවා.

අනුර දොරකුඹුර

- ස්වාධීන රූපවාහිනී

ස්වාධීන රූපවාහිනියෙන් මානුෂීය මෙහෙයුම වාර්තා කිරීමට පළමුව උතුරු නැගෙනහිර දිසාවට යවන්නේ අනුර දොරකුඹුරය.

”නැගෙනහිර මෙහෙයුම ඉවරවෙලා වන්නි මෙහෙයුමට එකතු වුණා. තොප්පිගල ඉඳලා නිවුස් දෙන්න කිලෝමීටර් 100 ක් අම්පාරට ආවා. වන්නි මෙහෙයුමට යනකොට අපිට පැවතුණු පහසුකම්, අඩුපාඩු සකස් කර ගන්න උත්සාහ කළා.

මාත් එක්ක කැමරාව මෙහෙයවූයේ සාරංග බස්නායක. මුලතිව් කඳවුරට ගහන දවසේ අපිත් සූදානමින් හිටියා ඒ තොරතුරු ලෝකෙට ම පෙන්වන්න. අපි ළඟටම මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණා. එතනදී මම තුවාල ලැබුවා.

විශේෂ පුහුණුවක් අපි කාටවත් නොලැබුණාට යුද බිමේ හැසිරීම් දැකලා අපි ඒ තත්ත්වයත් අවබෝධ කර ගත්තා. අපිත් හමුදාවත් අතර විශ්වාසනීය බැඳීමක් තිබුණා.

අපි වචනයක් පවා කීමේදී පරිස්සම් වුණා. මොකද වචනයක් හරි වැරදිලා ගියා නම් මුළු යුද මෙහෙයුම ම උඩු යටිකුරු වෙන්න තිබුණා. තීරණාත්මක අවස්ථාවකයි අපි මේ වගකීම ඉතා ම හොඳින් ඉටුකළේ කියලා අද අපට තියෙන්නේ ජයග්‍රාහී හැඟීමක්.

අවුරුද්දක් ගතවෙලත් අපට තවමත් හොඳ ප්‍රතිචාර පමණයි ලැබෙන්නේ. හැමෝම සෙත් පැතුවා. අපිට ඒක ලොකු ශක්තියක්.

අපේ මාධ්‍ය මෙහෙවර ලෝකයට ම ආදර්ශයක්. මේ හැම දේකින්ම අපි අපේ වගකීමෙන් කොටසක් පමණයි ඉවර කළේ. නැවත යුද්ධයක් ඇති නොවන තැනට ඉදිරි පරම්පරාව ගෙනයන්න කටයුතු කරන්න ඕන.

සංවර්ධනය වගේ භෞතික සාධක රජය විසින් ඉටු කර, සම්පූර්ණ කර දෙද්දි ඒ සිත්වල බිය නැතිකරලා විශ්වාසය ගොඩනගමින්, සබඳතා ශක්තිමත් කිරීමේ වගකීම අපට පැවරෙනවා.

අපේ රණවිරුවන් කිසිදා අමතක නොකළ යුතුයි. ආබාධිත, පූර්ණ ආබාධිත වගේ ම මියගිය හමුදා සෙබළුන්ගේ පවුල්වල සුබසාධනය ගැන සොයා බලන්න ඕන. ඒ අය කරපු මෙහෙවර අමරණීයයි.

ශානක ද සිල්වා

- ස්වර්ණවාහිනිය

ස්වර්ණවාහිනි ලයිව් ඇට් එයිට් ගෙන එන ශානක ද සිල්වා “රණබිමෙන් 8 ට” ගෙන ආ අයුරු පැවසූවේ මෙසේය.

“නැගෙනහිර ක්‍රියාන්විතය පටන් අරං අපි ගියේ තොප්පිගල අල්ලගන්න සටන රූගත කරන්න. මේ දරන පරිශ්‍රමය වචන කිහිපයකින් දෙන්න අමාරුයි. ඒ නිසාම යුද පුවත් වාර්තාකරණයට අලුත් හැඩයක් දෙන්න අපිට පුළුවන් වුණා. අපි “රණබිමෙන් 8 ට” විශේෂාංගය පටන් ගත්තේ වන්නි මෙහෙයුමට කලින් නාගර් කෝවිල් ගැටුම් පැවති වෙලාවේ.”

යාපනේ ඉදිරි ආරක්ෂක වළල්ලේ රූගත කිරීම් කළා. එදා තමයි මිනිස්සු යාපනය ඉදිරි ආරක්ෂක වලල්ල හරියටම දැකගත්තේ. “රණබිමෙන් 8 ට” පටන් ගත්තට පස්සේ ප්‍රවෘත්ති විශේෂාංග විදියට හැම චැනල් එකක්ම යුද පුවත් වාර්තා කරන්න උනන්දු වුණා.

වෙල්ලිකුලම්, නච්චිකුඩා, පූනරින් වගෙ තැන්වලදී අපේ මාධ්‍ය මෙහෙවරේ නිරත වුණේ අපේ ජීවිතය ගැන පවා තැකීමක් නොකර. අවස්ථා හයකදීම මරණයෙන් බේරෙන්න අපට පුළුවන් වුණා.

ලලිත් මඩිහේ ගජමන්, ශාන්ත රූපස්සර, ලක්ෂක බණ්ඩාරගමගේ අවසන් මෙහෙයුමේදී කැමරාව හසුරුවන්න මගෙත් එක්ක එකතු වුණා. තාක්ෂණය කියන එක කොහෙත්ම නැති පළාතකට අපි ජෙනරේටර් ගෙනල්ලා ෆෝවීල් කැබ්එකක වහලේ ඇන්ටනාව ගහලා තමයි සිග්නල් ගත්තේ.

දෙස් විදෙස් බලවේගවලට සටනක් දෙන්න පුළුවන් වුණේ මාධ්‍යයට. මඩු පල්ලිය බේරා ගැනීම හොඳම උදාහරණේ. මහවැස්සේ, කළපුවල බැහැලා, කඳු, ළඳු කැළෑද, අගල් පහුකරගෙන ඇවිල්ලා බිම්බෝම්වලින් බේරිලා හමුදාව කළ වීර වික්‍රමාන්විත ක්‍රියාවලි අපි ලෝකෙට ගෙනිච්චා. සමහරුන්ට තිබුණේ ඇඳීවත විතරයි. සෙබළුන් ඔවුන්ව ගෙන ගියේ දෑතින් ඔසවාගෙන.

“අවසන් සටනටත්” ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. අන්තිමේදී අපි “ඝාතකයා සොයා” ගියා. මගේ කැමරාව ඉස්සරවෙලාම ඝාතකයාගේ නිසල සිරුර ලෝකයටම පෙන්නුවා. දැන් “රණබිමෙහි මතක” ගෙන එනවා. මේක ලෝකයම මවිත කළ යුදමය ප්‍රාතිහාරයක්.

සුජිත් විදානපතිරණ

- ස්වාධීන රූපවාහිනිය

ස්වාධීන රුපවාහිනි සේවය වෙනුවෙන් යුද බිමට යාමට පළමුවෙන් ම ඉදිරිපත් වනනේ සුජිත් විදානපතිරණයි.

යුද වාර්තාකරණයට එකතු වුණේ නැඟෙනහිරින්. තොප්පිගල ජයගත්ත වෙලවේ අපි රූගත කළා.

මුළු මානුෂීය මෙහෙවරේම ජයග්‍රහණ වාර්තාකරගන්න අපිට පුළුවන් වුණා.

හමුදාව අගල්වල බැහැලා සතුරාව පරාජය කරන්න ගෙන ගිය අරගලය අපි දැක්කා. අපි හමුදාව එක්ක ළගින් ම යි හිටියේ. අපේ ජිවතත් පරදුවට තියලයි මාධ්‍ය මෙහෙවරට එකතු වුණේ.

නන්දිකඩාල් වලින් සියලු දේ අවසන් වෙනකොට අපි අපේ මෙහෙවර අකුරට ම ඉටුකර තිබුණා.

හරියට ම වසරක් ගත වෙන කොට අපි තියන්නේ සතුටක්. අද උතුරට නෑගම් යන අය දකිනවා. ඒ වගේ ම යාපනේ අය කොළඹට එනවා. දකුණට එනවා. මේක අවුරුදු ගානකට පස්සේ අපි දැකපු යහපත් ම දෙයයි.

යුද්ධය කියන වචනය මේ රටෙන් තුරන් කරලා දැම්මා.සංවර්ධනයේ අරුණලු හැම තැනට ම එක ලෙස බෙදී යන අයුරු දැකලා සතුටු වෙමු.

අනාගතේ දී ඉතාම සාමකාමී වගේම ලෝකයට ම ආඩම්බර වන රටක් ගොඩනගන්න අවස්ථාව ලැබේවි. එතන දි අපි මාධ්‍යයක් විදියට අපේ වගකීම ඉටු කරමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා